ඉතිං ඒකාලේ තාත්තා ඇවිල්ලා දහසක් දේවල් කියලා යෝගියව ඇහැරවනවා. කවදාවත් දැං වෙලාව ගිහිං කියලා කෑගහල නෑ.ඒ වගේම යෝගියා සපත්තු දෙක අතේ අරං වෑන් එකට දුවපු දවසුත් තියෙනවා.ආයෙ මොකටද . 7 වසර පහු වෙනකං ම යෝගියාව වඩාගෙන තමා තාත්තා කුස්සියට එක්ක යන්නේ. උදේ සීතල නිසා යෝගියා ව කෙළින් ම ගිහිං ලිප ළඟින් තමයි Land කරන්නේ.
ඉතිං දැං යෝගියා විවාහ වෙලා අවුරුද්දක් උනත් තාම කන බත්කට මුලින්ම පුතාලා , දුවලා හැම දෙනාටම කවලා තමයි තාත්තයි අම්මයි කන්නේ.ඒ ආදරේ තමා යෝගියා අද ඉන්න තරං දුරක් එක්කරං ආවේ. ( අපේ හාමිනේටත් ඕකෙං credit ටිකක් යනව හොඳද? – නැත්තං අද රෑට කඩෙං තමා කෑම )
පොඩි කාලේ ඉඳං යෝගියා තාත්තව දැක්කේ යෝධයෙක් වගේ. විශ්ව විද්‍යාල උපාධියක් නොතිබුනත් සාහිත්‍යය , සංගීතය වගේ දේවල ඉඳලා දේශපාලනය , ඉතිහාසය වගේ බොහෝ පුළුල් විෂය පරාසයක විහිදුනු දැනුමක් තාත්තා ළඟ තිබුනා. පොඩි කාලෙදී ගෙදර රාක්කයක් ම පුරවලා තිබුන වටිනා සාහිත්‍ය පොත් සියල්ලම වගේ තාත්තා එකතු කරපුවා.
ඉතිං 2004 අවුරුද්දේ අද වගේම දවසක යෝගියාත් අම්මාත් නංගීත් යෝගියාගේ ගෑනු ළමයත් එකතුවෙලා තාත්තාට පොඩි තෑග්ගක් දුන්නා.ඒකාලේ යෝගියාට මාර කෝඩේ. දන්නවනේ ඉතිං. කොහොම හරි තෑග්ග ගන්ඩ මූල්‍යමය දායකත්වය දැරුවේ අර කලිං නම් ලිස්ට් එකේ අන්තිමට හිටපු එක්කෙනා.තාත්තට ගැලපෙන තෑග්ගක් තෝරලා තෝරලා අන්තිමට හම්බවුනා හොඳම තෑග්ගක්.
ඒ තමා මහ පිරිත් පොත. ලස්සනට ඔතලා තෑග්ග දෙන්ඩ කලින් මොනවහරි ලියලා දෙමු කියලා නංගි යෝජනා කලා. ඉතාම හදිස්සියෙන් රටකජු ගෙනාපු කවරයක පිටිපස්සේ යෝගියා පුංචි කාලේ ඉඳලා දැකපු තාත්තව අකුරු වලින් සිත්තම් කළා.කබඩ් එකේ තිබිලා හොයාගත්තු මහ පිරිත් පොතෙන් ආපහු අහුලගත්තු ඒ අකුරු සිත්තම තමයි මේ.
චන්ඩ රැළ ,සැඩ සුළඟ
අඳුරු වැසි මීදුමේ
හිරැ එළිය ලෙස නැඟෙන
පහන් ටැඹ නුඹ අපට …
ගති සිරිත් , බෝ විසල්
දැනුම සිසිලෙන් පෙඟුන
සුභාෂිත සැළලිහිණි
කවි උනේ නුඹ අපට …
මඟ අතුළ කටු පඳුරු
සතුරු උවදුරු අතර
බල පවුරු මුර යොදන
සෙනවිඳුන් නුඹ අපට …
සිල් සුවඳ පතුරලා
බුදු කුටිය සේ ගෙදර
මහ පිරිත් පොත වගෙයි
තාත්තේ නුඹ අපට …
ඒක දැකලා තාත්තාගේ ඇස් දෙකට කඳුළක් ඉනුවද කියලනං යෝගියා දැක්කේ නෑ.ඒත් පුංචි කාලෙදි වගේම නංගිවයි යෝගියවයි අත්දෙකින් තුරුළුකරං ගොඩක් වෙලා හිටියා කියල විතරක් යෝගියට මතකයි.
ඉතිං , ආදරණීය තාත්තේ ඔබට සුබම සුබ උපන් දිනයක්.
– ජය