ආදරණීය මිත්‍රයා…

බොහොම කාලෙකින් යෝගියා ආපහු සටහනක් ලියන්න ‍ගොඩවැදුනා.

හොඳ වෙලාවට යෝගියට තමුංගේ බ්ලොග් address එක මතක තිබ්බා.නැත්තං අපේ සරදියෙල් ගොයියා වගේ Google කරල තමා තමුංගේ බ්ලොග් එක හොයන්ඩ වෙන්නේ.( මේ ලිපිය පළවු පස් යෝගියා අබිරහස් ලෙස අතුරුදහන් වුවහොත් උතුවම් කන්දේ සොයන ලෙස මහජනතාවට මේ සමඟ ම දැනුම් දෙනු ලැබේ)

‍යෝගියා උපන්නේ නිදහස් දවසේ. ඒ කියන්නේ යෝගියා නමින් මා මෙහි ගොඩවැදී පළමු ලිපිය එහෙං මෙහෙං ලියල හාපුරා කියල  තැපැල් කලේ නිදහස් දවසේ හින්දා.. ඉතිං එදා ඉඳං මේ වෙනකං ලිපි හතරයි ලියල තියෙන්නේ. ඒත් අනුංගේ පිල් උඩට වෙලා කයිය ගගහ ඉඳලම දැන අඳුන ගත්තු ‍යාළු මිත්‍රයෝ රොත්තක් ම යෝගියට ඉන්නව දැං..

මේක හරිම පුදුම අත්දැකීමක්..ඔබ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යනවනම් මා මේ කියන දේ වැටහෙයි හොඳට. නන්නාඳුනන කෙනෙක් ඔබ ලියන දේ කියවලා ඔබව දිරිමත් කරලා පුංචි සටහනකුත් තියල යන්න තරම් හිතෛෂී වෙනවා. සාමාන්‍ය ජීවිතේ ඒ වගේ දේවල් දැං අපිට පුරුදු නැතුව ගිහිල්ලා හිංදා ඒක එකපාරටම ඔබව පුදුම කරවනවා. කාලයක් යනකොට ඔබ දෙයක් තේරුම් ගන්නවා.. අපිට සාමාන්‍ය ජීවිතේ එක්කම අළුත් සයිබර් ජීවිතයක් තියෙනවා. මට ඔබ හමුවුනේ එහෙමයි..

“බලපන් මේ කිසිම පණක් නැති අකුරු සංසාරික බැමි හොයාගෙන යන හැටි….”

බ්ලොග් අවකාශෙදී කෙනෙකුට මගේ පෞද්ගලික ඊමේල් ලිපිනයෙන් යවපු පළවෙන් ලිපියට පිළිතුරු විදියට උඹ එහෙම කියල එව්වා. (මේ උපුටා දැක්වෙන්නේ මා දැනට පෞද්ගලිකව හඳුනාගත් කීපදෙනෙකු වෙත යැවුනු හා එවුනු ලිපි වල කොටස් – ඔවුන්ගේ අවසරයකින් තොරව )

“ආදරණීය මිත්‍රයා…”
එහෙම තමයි මං ලියපු ලිපිය පටං අරං ති‍බ්බේ.. ජීවිතේට ම කතා කරල නැති උනත් ඒ ලෙංගතු ආමන්ත්‍රණය වැරදී ගියේ නෑ. මා හිතන්නේ ජීවිත කාලෙටම පවතින සහෝදර බැඳීම් කීපයක් මා ලියූ ඒ ලිපි කීපය මට ගෙනත් දුන්නා.

සාමාන්‍ය ජීවිතේ හිටපු යාළුවො ගොඩ දෙනෙක් එක්ක අපි අන්තර්ජාලය හරහා කතාකරනවා. ඒ නැතත් ජීවිතේට ලංවුනු  මිනිස්සුන්ගේ මතකය සුවඳක් වෙලා හැම වෙලාවෙම අපි ළඟ දැවටෙනවා.  ඊට ‍අමතරව පුරුද්දක් විදියට මහගෙදර ට ගොඩවැදිලා හැන්දෑවට කයියක් ගහගෙන ඉන්න නුඹ මාත් එක්ක එනවා බොහොම වෙලාවට.පාසලේදීත් වෙනත් බොහොම තැන්වලදීත් අපිට මුනගැහෙන යාළුවෝ බොහෝ විට අපි ඉන්න වටපිටාවේ අපි කරන කියන දේවලට සම්බන්ධ අය. ඒත් බ්ලොග් අවකාශෙදි ඒක සම්පූර්ණ වෙනස්.විවිධ තරාතිරම් වල ආගම් ජාති දේශපාලන මත දරණ විවිධ සමාජයේ විවිධ පැතිකඩවල් නියෝජනය කරන අය.

මුලදි ඒක වෙලාවකට තරමක් අපහසුවක් දැනෙන්නක්. ඒත් පස්සෙ හිමීට ඒක ඔබට හු‍රුවෙනවා ටිකෙන් ටික.තමා දරණ මතයට සම්පූර්ණම විරුද්ධ අදහසක් දරන කෙනෙක් එක්ක සුහදව කතාකරන්න එතකොට ඔබට පුළුවන් වෙනවා. ඔබට මතකනම් කලිනුත් දවසක මම ඔබට ලිව්ව වගේ

මේ කතාකරන යාළුවෝ මොන වගේ  ද කියලවත් දන්නේ නෑ. ඒත් ඔවුන්ගේ අදහස් මගේ අදහස් එක්ක සුසර වෙන වෙලාවට මෙයාගේ හැ‍ඩරුව මේ විදියයි කියලා හිතාගෙන කතා කරන රූපේ ඔක්කොම බොඳවෙලා ගිහින් ඉති‍රිවෙන්නේ අමුතුම බැඳීමක් විතරයි හිතේ …මනුෂ්‍ය සම්බන්ධතාවලට ඕනවෙන්නේ  මනුස්සකම යි සම්බන්ධ වෙන්නේ මනුස්සයෙක් එක්ක කියන එකයි විතරයි.භාෂාව ආගම පාට ජාතිය ඒ ඔක්කොම ඉතාම නොවැදගත් දේවල් ඊටපස්සේ…

අසනීපව රෝහලේ සිටි කාලයම නිරතුරු කතාකර සුවදුක් විමසුවේත් , මා රෝහලේ සිටිනා බව නොකී බැවින් බැණ අඬගැසුවේත් , මාගේ දුරකථන අංකය නොදන්නා නිසා සචී අක්කාට නිරතුරු කතාකරමින් විස්තර ඇසුවේත් , ඒ මනුෂ්‍යත්වය යි.ඒ සහෝදරත්වය යි.

අන්තිම බ්ලොග් Post එක ලියූ දින සිට අද වනතුරු ගතවූ කාලය මගේ ජීවිතේ වඩාම කාර්යබහුල කාළයයි.හැබැයි සතුටින්ම ගතවුනු කාළයක් . වෙනස්කම් බොහොමයක් ජීවිතේට එකතුවුනා. යෝගියාට තමා ජීවිතයේ කිසියම් දවසක ප්‍රාර්ථනා කළ විදියේ ඒ වෙනුවෙන් බෙහෝ වෙහෙසී වැඩකළ විදියේ  ව්‍යාපාරයක් සමඟ සම්බන්ධ වෙලා බොහොම සතුටින් වැඩකරන්න අවස්ථාව ලැබුණා.ජීවිතේ පළමු වතාවට නේවාසිකව රෝහල් ගතවෙන්නත් සිද්ධවුනා ( ඒකනං සතුටින් හිටපු කාලයක් නෙමේ ). ජීවත් වෙන්න බොහොම නිදසක් පරිසරයක් ලැබුනා. ඒ ඔක්කොටම වඩා යෝගියට යි හාමිනේටයි අළුත් Title එකක් හම්බවෙන්න යන සතුටුදායක ආරංචියකුත් ලැබුණා.

ඉතිං ජය පරාජයන් එක්ක ජීවිතේ හැප්පෙද්දී නුඹව අමතක උනා නෙවෙයි.වෙනස්වීම් , අළුත්වීම් , කරදර හැමදෙයක් එක්කම අතපසුවුනු රාජකාරී දේවල් අකුරටම කරන්නත් ඉදිරියේදී එවැනි අතපසුවීම් නොවෙන්න පරිසරය හදාගන්නත් යෝගියාට ඕනෙ වීම තමයි මේ පැත්තේ යෝගියට එන්න නොදුන්නේ.අදත් මේ වැඩ කරන ගමන් .. ලද පොඩි විවේකය ප්‍රයෝජනේට ගත්තා .

යෝගියට හිතෙන විදියට මේක ලිපියක් ම නෙමේ.. යාළුවෙක් බලන්න යන්න වෙලාවක් නැතුවාම නිකං සුවදුක් අහන්න call එකක් දීලා hello කියනව වගේ වැඩක්. ලිපියක් ලියවෙන්න තරම් නිදහස් දවසක් ඉක්මනටම ලැබෙයි. ඇරත් මේකට ලියන්න වෙනත් කීපදෙනෙක්මත් දායක වෙලා නේ.. ඔවුන්ගේ ලිපිවලින් උපුටාගත්තු කොටස් නිසා. ලිපිය අවසන් කරන්නත් උපුටාගැනීමක් ම පාවිච්චිකරන්නම්.

ඉතින් ඉඩ තියෙන වෙලාවට බ්ලොග් එකකදි හරි මේල් එකකින් හරි හමුවෙමු..

ලස්සනම ලස්සන දවසක් වේවා..

ප්‍රතිචාර 24

  1. ජූලි 31, 2010 at 1:10 ප.ව.

    සාධු..!සාධු..!!සාධු..!!සාධු..!! බාල ගිරි දෝශය ඉවර වෙලා :-)

    • ජූලි 31, 2010 at 1:28 ප.ව.

      කමෙන්ට් එක දැම්මේ ලිපිය නොකියවාම.. :D
      හ්ම්ම්ම්ම් ඔව් ඒකියන දේ නම් ඇත්තම ඇත්ත.කවදාවත් නොදැක..බොහෝ විට කටහඬවත් අහලා නැති ඒත් අතිශය ලබැඳි මිතුදම් අපිට ලැබුනා…මේ පණ නැති අකුරු හරහා….
      ඔබ වගේම මාත් ඒ ගැන බොහෝමත් සතුටු වෙනවා.
      ආ අනික, මගේ සුභ පැතුම්…!!!! යෝගියට යි හාමිනේටයි දෙන්නටම

    • යෝගී said,

      ජූලි 31, 2010 at 7:41 ප.ව.

      ඉවරයි කිව්වට ඉවරම නෑ… තව තියෙනවා

  2. රොයිලි ප්‍රනාන්දු said,

    ජූලි 31, 2010 at 1:17 ප.ව.

    ඇති යන්තම් ඇවිල්ලා. ආපහු මාස 2-3 පස්සෙ මම ඉන්නවා කියලා යන්න වරෙන්කො බලන්න. :P

    ප.ලි.
    උඹට මාව මතකද මන්දා? අර පොඩි වැඩක් බාර දුන්නට පස්සෙ උඹ චැට් එකට වත් නෑවිත් ඉන්නෙ මාත් එක්ක තමා :P :P

    • යෝගී said,

      ජූලි 31, 2010 at 7:43 ප.ව.

      අමනාප වෙන්න එපා මචං.. ඔය කියල තියෙන්නෙ මට වෙලා තිබුනු විනම්බෑසිය පහුගිය ටිකේ.. වැඩ වැඩී. ඒත් මං Chat එකේ ඉන්නවා.

  3. Chejana said,

    ජූලි 31, 2010 at 1:20 ප.ව.

    mm…නියමයි…
    ප්‍රශ්න පස්සෙ අහන්නම් නේ… :D

  4. ජූලි 31, 2010 at 10:42 ප.ව.

    නිවාඩු දවස් දෙකේම වැඩ කරලා කාමරේටත් ගෙනත් මේ වැඩ… ඒත් මේ ලියුමට කොහොම උත්තර නොලියා ඉන්නද…? “ආදරණීය මිත්‍රයා…” ඒ ආමන්ත්‍රනයේ තිබ්බ හිතවත් කම ලියුම පුරාවට තිබ්බා… උඹේ ලියවිලි වල තියන පුදුමේ කියන්නේ මල්ලී මට හැමදාම ඒ ලියුම් මගේ ඇස් තෙත් කරනවා… මේ ලියුමත් එහෙම්මමයි… එව්වත් එක්ක මාත් එකඟ බව ඉතින් දැන් උඹ දන්නවා නෙව… නිදුක් නිරෝගීව සැනසිල්ලේ ඉන්නට හේතු වාසනා වේවා මල්ලී…

    පසු ලිපි: මම උඹේ කැමතිම කෑල්ල – “උඹත් එක්ක ඉතින් ඕකනේ කරන්න බෑ කියන්නේ…” හහ් හහ් හහ්……

    • යෝගී said,

      අගෝස්තු 1, 2010 at 12:03 පෙ.ව.

      බෑනෙ ඉතිං මේක කරන්ඩ … :D
      අධික වැඩ අස්සෙත් මේපැත්තේ ඇවිත් යන්න ආවට බොහොම පිං අයියේ.. දවස් හතම වැඩ කරල ගෙදර ඇවිල්ලත් වැඩ කරනව කියන එකනං මට හිතාගන්ඩ බෑ.

      ඒත් ආදරණීය මිත්‍රයා.. බලලා යන්න ආවට බොහොම ස්තුතී.

  5. සචී said,

    අගෝස්තු 1, 2010 at 3:05 ප.ව.

    හපෝ..ඇති යන්තම්..! ඒත් ඉතිං වෙලා තිබිච්චි විනම්බෑසි කරදර සහ සුබ දේවල් ඔක්කොම දන්න නිසා මුකුත් කියන්න විදියක් නෑ…වෙලාව ලැබෙන ලැබෙන හැටියට දැන් ඔය මොක මොකවත් ලියන්න…තව ටික කාලෙකින් මෙහෙමවත් ලියන්න විවේකයක් ලැබෙන එකක් නැති වෙයිනෙ. ;)

  6. අගෝස්තු 2, 2010 at 9:15 ප.ව.

    අපෙන් සුබපැතුම්!

  7. විහඟ ගීතය said,

    අගෝස්තු 6, 2010 at 6:24 පෙ.ව.

    යෝගී ලියු මලීගේ ලියුමෙන් පසුව
    රෝගී වුන බවක් හෝ තොරතුරු නැතිව
    ආගිය වාර බොහොමයි, හිස්මය පි‍ටුව
    මේගී ඔබටමයි වෙර වීරිය පැතුව

    • යෝගී said,

      අගෝස්තු 6, 2010 at 7:41 පෙ.ව.

      පැදියෙන් පැදිය අමුනා මුතු පෙල සේ ම
      සිත තුටු පහටු වෙයි ඔබ හා කවි කීම
      ආ බැව් මෙසේ දැකුමෙන් අද උදයේම
      සතුටින් පිරුණි දුර මිතුරෙක් දුටු සේම

      ස්තුතී ඔබට

  8. nethmi said,

    අගෝස්තු 12, 2010 at 10:20 පෙ.ව.

    සැප දුක සමව දරා දිගු ගමනක් යන්න සුපැතුම්… මලීගෙ ලියුමෙන් පස්සෙ ඇයි නැත්තෙ කියලා බලා ගෙන හිටියෙ.. මල්ලි අසනීප වූ බවක් ආරංචි උනේ නැහැනෙ…ජය..

    • යෝගී said,

      අගෝස්තු 12, 2010 at 6:50 ප.ව.

      ස්තුතී අක්කෙ ඇවිත් යන්න ආවට. අසනීපයි කියල කාටත් නොකිව් එකටනෙ පහුගිය ටිකේ දුසිම් ගණං කට්ටිය ලොකුඅයියගෙං බැනුං අහගත්තෙත් :)
      කරදරවෙන නිසා කිසි කෙනෙකුට කිව්වෙ නෑ අක්කෙ. ඉතිං ඔයාටත් ආරංචිය එන්න නැතුව ඇති. බොහොම ස්තුතී සැපදුක බලල යන්න ආවට.

  9. අගෝස්තු 20, 2010 at 2:31 ප.ව.

    මදැයි යෝගී ආවා…ඇත්ත දැකලා අහලා නැති මිත්‍රයෝ රෑනක්ම මටත් මේ බ්ලොග් කෙරුවාවෙදි හමු වුනා…

    • යෝගී said,

      අගෝස්තු 20, 2010 at 4:25 ප.ව.

      කලබල කරදර ගොඩක් අස්සෙ කාලය නිකම්ම ගෙවිල ගියා.. ඒක තමා එන්ට පමාව.
      ස්තුතී ශ්‍රී ඇවිත් යන්න ආවට ..

  10. änthräX said,

    අගෝස්තු 21, 2010 at 8:50 ප.ව.

    පරක්කු වෙලා ආවට සොරි වේවා. අසනීප වෙලා උන්න කියලා දැනං උන්නෙ නෑ මචෝ. චැට් කරද්දි අසනීප ගතියක් තිබ්බෙ නෑ නොවැ :P

    ඔය ඉතිං අර අසරණයට ආයෙත් මඩ ගහලා. ඔය සරා ගෙ ගූගල් සීන් එක දන්නම කියන තුන් හාරසීයක් ඇරෙන්න අනිත් අය දන්නෙ නෑ.

  11. LishWish said,

    දෙසැම්බර් 12, 2010 at 12:26 ප.ව.

    මලීගේ ලියුමෙන් පස්සේ කිසිදෙයක් ලියලා බැහැ කියලා හිතාගෙන හිටියේ ඒකයි මේ පැත්තේ එන්නවත් බැරු වුනේ..! අපරාදේ ලියිය දාලා මේතරම් කල් ගිහින් ගින් කියල දැනුනම.., උණු උණුවේ කොම්න්ට් එකක් දාන්න බැරු විච්චි එක ගැන නම් දැනෙන්නේ දුකක්..! කමක් නැහැ.., ඉන්න තැනක පරිස්සමින් ඉන්ඩ. ඇහැකි වෙලාවක අකුරු ටිකක් කොටලා යන්ඩ..!
    ජය! :)

  12. sri said,

    දෙසැම්බර් 17, 2010 at 2:56 ප.ව.

    අර රොයිලි කිව්වා වගේ ඉන්නවා කියලා යන්න තව මාස තුන හතරකින් එනවකෝ…අසනීපෙන් කියලා දැනංහිටියේ නෑ මිත්‍රයා…මාත් බැන්නා නෙව පහුගිය පෝස්ට් එකට comment එකකින්….

    ආයිත් දකින්න ලැබීම සතුටක්…


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.