අරණකට පෙම්බැඳ …

ගෙවෙන කාලය බෙහෙවින් රාත්‍රියයේ සිසිලසට උරුමකම් කියන්නීය. සඳ ඇති රාත්‍රියක කාමරයේ ජනේලය විවරකර තිබියදී සීතලට දැනෙන සුළං රැල්ලක් , මගේ සිතිවිලි පරම්පරාව දශකයකින් එහා දිනකට ඇද දමයි.පැහැදිළි අහසේ සඳ එළිය අතුරින් දිළෙන තරු මුතුකැට ඒ චමත්කාරජනක සීතල රාත්‍රියේ මතකයෙන් මගේ සිත බර කරනුයේ ඇයි දැයි නොහැ‍ඟේ.

“නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ…” කොහේදෝ ඈතක නිවසකින් කපුගේ ගයනු ඇසේ. දුරින් ඇසෙන ඒ ගැඹුරු හඬ රාත්‍රියේ නිසලතාවයට මුසුවී යන්නේ සිත සෙමෙන් පිරිමදිමිනි. රැළි නංවමින් මෘදුව පිළිවෙලකටත්  අපිළිවෙලකටත් ඒ හඬ අන්ධකාරය සමඟ මුසුවී ඇති වී නැතිවී යයි..

කී දෙනෙක් යනවද ඔය ගමන ?

දහයක් විතර යනව තාත්තෙ.. අඩුම වුනොත් හතක් වත් යයි… ”

ඒ වනවිට මා සිතේ ඇඳී තිබුනේ ….

“මං නං කැමති නෑ ඔය අවදානම් ගමං වලට”…  එය තදබල විරෝධයක් ම නොවූයෙන් අපි ගමන සැළසුම් කළෙමු.එසේ වුවද අරහෙං මෙහෙං කන් කෙඳිරි ගා නාහෙන් අඬා , අම්මා පණිවිඩකාරයා බවට පත්කර හෝ තාත්තාගෙන් අවසර ගැනීමේ සම්භාවිතාවය බොහෝ වැඩි බැව් යෝගියා අත්දැකීමෙන් දනී. අන්තිමට ගමනට දින දෙකකට කළින් නැවතත් යනවා කිවු දහයටම කතා ක‍ළේ යෑම පිළිබඳ තහවුරුකරගැනීමට ය.

අවාසනාවක මහත! දහයෙන් හය දෙනෙකුටම ජීවිතයේ තිබූ වැදගත්ම සහ ලොකුම කර්තව්‍යයන් ගමන යන දිනට යෙදී තිබීමෙන් ගමන යන්නට ඉතිරි වූ හතර දෙනාගෙන් තුන් දෙනෙක් සමඟ නැවත සාකච්ඡාවක් කැඳවන්නට සිදුවිය.

“දැං මොකද කරන්නෙ ?.. අපි හතරදෙනා විතරක් යන එක Risky නැද්ද ?”

පිස්සුද යකෝ.. දැං යන්න ලෑස්ති වුන එක යමු කොහොමහරි.  ඒ යෝජනාව සභාසම්මත විය. අපි සිව්දෙනෙකුට අවශ්‍ය ආම්පන්න ලයිස්තු ගත කරමින් සිටියෙමු.

“මචං උයාගෙන කන්ඩ පරිප්පුත් ගම්මු”.. කොච්චර යයිද ?

කවද කාපු පරිප්පුද බං. හිටපං අම්මගෙං අහන්ඩ.

“අම්මේ හතර දෙනෙකුට වේල් දෙකකට පරිප්පු කොච්චර යනවද ?”

යෝගියා නාගත්තේ එවිටය.. නාගත්තා කියා මතක් උනේ ත් අන්තිම වචන කීපය පිටවූවාට පසුවය.

“දහදෙනෙක් යන ගමනට මොකටද හතර දෙනෙකුට පරිප්පු ? “..තාත්තා වෙත ආරංචිය නොයවා අම්මාගෙන් වැඩේ ෂේප් කරගන්නට ගමන යනවා තරම්ම මහන්සියක් ගන්නට සිදුවුනේය.

නකල්ස්….. ඒ වනවිට මා සිතේ ඇඳී තිබුනේ නොයිඳුල් සදාහරිත වනාන්රයකින් හෙබි කඳුපන්තියක සුන්දර චිත්‍රයක් පමණි.ජීවිතයේ යමෙකුට හුදකලාවියහැකි චමත්කාරජනකම ස්ථානය ඒ යැයි මා දැනසිටියේ නැත. වරක් දෙකක් ගොස් ආවත් සැමදාම එය සමඟ සිතින් ජීවත් වන්නට සිදුවන ගමනකැයි දැනසිටියේ නැත. කඳු මුඳුන් දෙකක් අතරින් වලාකුළු පෙරී එනවා ඔබ කවරදාකවත් දැක තිබේද? මා ඊට පෙර කිසිදා එය දැක තිබූයේ නැත.මා ඒ ගැන අසා තිබුණේ ද කවිය රයිම් වෙන්නට ලියන වචන කීපයක් ලෙස පමණකි . ස්කන්ධයක් නැතිවාක් මෙන් අහසේ එහෙමෙහෙ දුහුල් ව ඇදී යන වළාකුළු කිරිබඳුනක් වත්කළා සේ – නමුදු බොහෝ සෙමින් – කඳුගැට දෙක අතරින් පහළට පෙරී එනබැව් මා ඊටපෙර කිසිදිනක දැක තිබුනේ නැත.

කඳු මුඳුන් දෙකක් අතරින් වලාකුළු පෙරී එනවා ඔබ කවරදාකවත් දැක තිබේද?

අනන්තය දක්වා විහිදෙන සදාහරිත නිම්නයට ඔබ්බෙන් ඕ අප්‍රමාණව  නැගී සිටින්නීය. මං මාවත් පුරා විෂ පෙවුනු වායුවෙන් පපුව පුරවා ගන්නා සියල්ලන් ම තමා වෙතට එත්දී ඕ මහත් සෙනෙහසින් දෝතට අරගන්නී , මවක් මෙන් සිසිළ සදන්නීය. සෙවන සදන්නීය.

මම කවුළු පියන සම්පූර්ණයෙන්ම විවර කර ඇතුළට විත් මා හා වෙළෙන්නට තනන සුළං රැල්ලට ඉඩ  දුන්නෙමි. මේසය මත වූ තිත්ත රසයක් සහිත තේ කෝප්පයෙන් උගුරක් බීවේ සිසිල් සුළඟින් සීතල වූ සියොළඟම උණුසුම් කරගතිමි. ඒ මුහුණ පෙළන සීතලද තිත්ත රස මුසුවූ උණුසුමද මා නැවතත් අතීතයේ ස්මාරකයට ඔසවා තබන්නේය.

ගමන ඇරඹුනේ ගම්පහින් නුවර දක්වා දුම්රියෙන් ගොස් ඉතිරිය බස්එකේ යන්නට කතාකරගෙනය. අවශ්‍ය අඩුම කුඩුම සියල්ල බෑග් වලට අඩුක්කරගත් අපි කළින් කතාවූ වේලාවට ගම්පහ දුම්රිය ස්ථානයට පැමිණියෙමු.ඒ වනවිට ඉතිරිව සිටි හතර දෙනාගෙනුත් එකෙක් හැලී තිබිනි.ගමන නුවරටත් නුවරින් මාතලේටත් විශේෂයක් නැතිව යාගත්තෙමු. මාතලේදී මඳ විවේකයක් ගත් අපි , නකල්ස් යන අයුරු පුද්ගලයෙකුගෙන් ඇසූයේ අපි තිදෙනාගෙන් එකෙකු හෝ මේ ගමන ගොස් නැති නිසාවෙනි.

“ගමන නං හොඳයි පුතා.. ඒත් මේ දවස්වල එහාට සැරට වැස්ස. කවුරුත් යන කාලයක් නෙවෙයි නේ..”

අප මග විසතර ඇසූ තලත්තෑනි පුද්ගලයා අපව මඳ අපහසුවකට පත් කළේ ය. දැං ඉතිං ආපු එක මාතලේ බුදියගන්ඩද බං.. යමං.

ඔයාලට යන්න තියෙන්නෙ අර බස්එක.ඉලුක්කුඹුරට යනකං යන්න වෙනවා.

අපි දිවගොස් බසයට නැඟි අතර ඉඩපාඩු තිබූයෙන් ආසන තුනක හිඳගතිමු. කොන්දොස්තර තැන ටිකට් මැෂිමත් අතට අරං ලඟට ආවේය.

“ඉලුක්කුඹුර තුනක්”…. “ආ මල්ලී. හැත්තැ පහයි”. මගෙ කටේ කෙළ සිඳී යන්නට ආවේය.

රුපියල්-ද බං හැත්තැ පහ? හෝලට් එකක දුර රුපියල් දෙකේ කාලෙදී හැත්තැ පහ කියන්නේ හම්බ දුරක් විය යුතුය. මේ පුංචි බස් එකේ හෙට එළිවෙනකං යන්ඩ වෙයිද මන්දා. මම අපේ විමධ්‍යගත අරමුදලෙන් රැගෙන හැත්තෑපහක් කොන්දොස්තර තැනට දුනිමි.

අපේ අපමණ සිනා කවටකම් මැඳින් බස් රථය ගමන් අරඹා තිබිණි. මුළු බස් රථයේම උන් පිරිසත් සමඟ මෙන්ම රියැදුරු- කොන්දොස්තර දෙපළ සමඟද හිතවත් වීමට අපිට වැඩි කලක් අවශ්‍ය වූයේ නැත. දිගින් දිගටම ගමන ඇදී යත්දී අපි බලාපොරොත්තු වූ සදාහරිත සුරපුරය නම් පේන මායිමක නොවීය. වැස්සෙන් මඩ වූ පාරවල්ද , දෙපස කැපූ පස් කණ්ඩිද දෙමටගොඩ ගුවන් පාලම හදන්නට ගතවූ මුල් කාලය සිහිපත් කළේය. “මල්ලී.. දැං ඔහොම ගියාට තව ටිකකිං ඕගොල්ලොන්ටම හිතාගන්න බැරිවෙයි කොහෙද මේ යන්නෙ කියල.. ඔහොම ඉවසල යංකො” අපි එකිනෙකාගේ කෙඳිරිල්ල ඇසුනු මට එහායින් සිටි පුද්ගලයා සිනාසෙමින් පැවසීය. “ඕන මඟුලක් දැං ඉතිං. ගිහිල්ලම බලමුකො”….

ඔහු නිවැරදි බව පසක් වීමට වැඩි කාලයක් ගත්තේ නැත. වංගු හැරෙමින් මඳ බෑවුම් දිගේ බස් රථය සෙමෙන් සෙමෙන් මේ ඇදෙන්නේ ලංකාවේ පිහිටි පලාතකටනම් නොවේ. තැනින් තැන හැඩවුන මහරත්මල් ගස් මෙන්ම මැයි මල් මෙන් ඈතට දිස්වෙන තවත් ගස් සමූහයක සෙවනින් පාර ආවරණය කරන්නී නෙතට අපමණ චමත්කාරයක් ගෙත්තම්කරමින් සිටියහ. පාර පටුය. ප්‍රපාතාකාර බෑවුම් සහිතය. විටින් විට කුඩා පැල්පත් මෙන් පෙනෙන තේ කඩ ද , තේ වතුවල දළු නෙලන වතු කම්කරුවන්ගේ නිවාසද පසුකරමින් අපි ගමන් ගත්තේ සැතපුමෙන් සැතපුම අප මේ ඇදීයන අදහාගත නොහැකි නිල් දසුන වෙත පූර්ණ අවධානයෙනි. ඇසිපිය ගසන නිමේෂයකදී පවා දෙනෙත් ඉදරිපිට ඇදහැලෙන ඒ සුන්දරත්වය අපෙන් මිදී යනවාට අපි ලොබ වීමු.

කඳු මුඳුන් හි තැන් තැන්වල තුනී පටල ලෙසින් මීදුම් සිනිඳුවට වෙලෙමින් තිබෙනු පෙනෙයි. හිරු එළිය දුම්බර කඳු අතර ගැවසෙන දුමාරයට එපිටින් වසන්ව ගියාක් මෙනි. අතර මඟ කුඩා කඩයක නවත්වා මඳ වෙහෙස නිවාගෙන තේ බී නැවත ගමන ඇරඹූයෙමු. වංගුවෙන් වංගුව ඇදී ඒ දුෂ්කර වූ මාර්ගය රිවර්ස්ටන් පසුකළපසු අපි වදනක් හෝ දෙඩුවේ නැත. අසුනෙන් අසුනට මාරුවෙමින් හැකිතරම් මඟ දෙපස දිස්වෙන ඒ දර්ශනයට වශී වී බලා සිටියා මිස අප අවට ගැන කිසිදු අදහසක් නොවීය. රියැදුරා ද මට අවශ්‍යය තැනදී බසය නවත්වා ඡායාරූප ගැනීමට අවස්ථාව ලබා දුන්නේ කිසිදු පැකිලීමකින් තොරවය. ඒ වනවිට බස් රථයේ ඉතිරිවී සිටි අනිත් මගීන් කීප දෙනාත් සමඟද බොහෝ කුළුපගව සිටියෙන් කිසිදු විරෝධයක් පැන නැඟුනේ ද නැත.

… ඒ දුෂ්කර වූ මාර්ගය රිවර්ස්ටන් පසුකළපසු අපි වදනක් හෝ දෙඩුවේ නැත.

කෙමෙන් අපි ඉලුක්කුඹුරට ලඟාවීමු. “මල්ලී .. අර පේන්නෙ වනජීවී එකේ Office එක. එතන ඉන්න මහත්තය හම්බෙන්න කෙලින්ම.”  කොන්දොස්තර තැන අදාල පුද්ගලයාගේ නම සඳහන් කළේය. අපි සියළු දෙනාටම ආයුබෝවන් කියා බසයෙන් බැසගතිමු…

“මහත්තය නැද්ද අයියෙ?” එතැන සිටි තරුණයාගෙන් ඇසුවෙමි. අයියෝ, මහත්තය කොළඹ ගිහිල්ලනෙ. අද හවස්වෙයි එනකොට.

කාල වරෙංකො. දැං ඉතිං කාට කියන්ඩද. මහත්තේල කොළඹිං බුක්කරලද ආවේ? වැඩේ නොපිට පෙරළෙන බව පෙනිණි. කලින් නොදන්වා පැමිණීමෙන් ආගන්තුකයන්ට මෙහි welcome එකක් නැත. මට ඔය වගේ නොපිට වෙලාවට පහළවෙන ගණදෙවි නුවණ පිහිටට ආවේය.

මේකයි අයියෙ. අපිට බුක් කරන්න අවශ්‍ය නෑ. මහත්තය ඉන්නව කියල හිතං ආවෙ කෙළින්ම හම්බෙන්ඩ.. ඔය කිව්ව මහත්තයා කළුද සුදු ද නොදැන කියා දැම්මේ අපේ ලොකු තාත්තා ගැන කියන්නා වගේය…

කමන්නෑ.. අපිට මේ කෑම ටික කන්ඩ තැනක් පෙන්නන්ඩකො.

ගහකොලින් වටවූ අප්‍රමාණ පරිසරයේ කොටසක් වූ මේ අහිංසක මිනිසා බොහෝ අව්‍යාජව අපට එහි වූ අමුත්තන්ගේ කාමරය පෙන්වූයේය. කෑම කන අතරතුර කතාබහේදී , අවසර නැතිව මෙහි ඇතුල් විය නොහැකි බවද එසේ ඇතුල් වෙතත් මඟපෙන්වන්නෙකු සමඟ මිස තනිව යා නොහැකි බවද දැනගන්නට ලැබිණි. මිනිසුන් කැලෑවැදී පොලිතීන් ආදී අපද්‍රව්‍ය දමා , අතු සිඳ ගස් වනසා , සතුන් දඩයම් කර වනාන්තර සුන්දරත්වය  විනාශ කර හෙයින් කිසිවකුටත් අනවසරයෙන් එහි ඇතුලුවීම තහනම් කර ඇති බවද ඔහු පැවසූයේය. මම අන්තිම තුරුම්පුව ගැසුවෙමි.

“අපි ආවෙත් අන්න ඒවගේ දේවලින් පරිසරයට වෙන හානිය ගැන පරීක්ෂන වාර්තාවක් අරන් යන්න.. අපිට උදව් කරන්න පුළුවන්නම් ලොකු දෙයක් අයියෙ..”

මහත්තේලට කැලේට යන්න කියන්නනං මට බෑ මහත්තය. ඒත් යන අය යන්නෙ නං මේ පාරෙන්..”

අපි ඔහුගෙන් සමුගෙන හැකි ඉක්මනින් කැලෑ වැදුනේ ලොකු මහත්තයා ආවොත් වැඩේ ගැස්සෙන බැව් දන්නා හෙයිනි. කැලෑවට ඇතුලුවන තැනදී එක් සගයෙක් කොළ අතු කැබැල්ලක් කඩා ගසක එල්ලනු අපි අනිත් දෙදනා බලා සිටියේ මහත් ගෞරවයෙනි.ඒ අපේ පැරණි සම්ප්‍රදාය යි. එතැනදී අපි කොළ කැබැල්ලක් හෝ කැලයේ දමා අවුදින් කැලයට හානියක් නොකරන ලෙස වගබලාගැනීමට එකිනෙකාට පොරොන්දු වීමු.  ආපසු එන තෙක් ම එය අකුරටම පිලිපැද්ද බව නම් මතක්වනවිට සිතට සියුම් ආඩම්බරයක් එක් වේ.

හවස්වීගෙන එමින් තිබිණි.

දුරින් දුටු ඒ සුන්දර මිටියාවත මහා ගස් ගොඩක් වී අප වටකරගෙන ඇත. අපි ගමන ඇරඹූ තැනින් ම නැග්ම ආරම්භ වන කන්දේ මුඳුන , කෙළින්ම අහස දෙස බැලීමක් වැනි සීග්‍ර නැග්මකින් යුතුය. බිං කළුවර වැටෙන්නට මත්තෙන් අපි කඳුමුඳුනට නැගීමේ බලාපොරොත්තුවෙන් ගමන ආරම්භකළෙමු. කිහිපදෙනෙකු අතින් මාරුවෙන් මාරුවට රැගෙන යන වතුර කෑන් , පෙට්රෝල්මැක්ස් , විශාල ටෙන්ට් එක ආදිය ද එකිනෙකාගේ පෞද්ගලික බඩු මලු ද හුවමාරුවට ගෙනයාමට පිරිසක් නැති හෙයින් අපි තිදෙනාටම රැගෙන යාමට සිදුවීම ගමනට විශාල වෙහෙසක් එක් කළේය.

බඩු බර වැඩිය. කන්ද සෘජු නැග්මක් සහිතය. දෙපා රිදුම් දෙයි.   ශිෂ්‍ය භටයින් ලෙස පාසලේ ලැබූ පුහුණුව තිදෙනාටම තිබීම මහත් වාසියක් ගෙනදුන්නේය. ශිෂ්‍ය භටයෙකු ලෙස ලබන පුහුණුව හමුදා පුහුණුවක් හා සම කළ නොහැකි වුවද , පාසල් ශිෂ්‍යෙයකු වශයෙන් ඉතා රළු හා කර්කෂ කාලයක් නවකයෙකු ලෙස ගෙවීමට ශිෂ්‍ය භටයෙකුට සිදුවේ. අවි සරඹ පුහුණුව , ඉලක්කයට වෙඩිතැබීම් මෙන්ම කැලයේ හෝ යුධ හමුදා කඳවුරු වල විශේෂයෙන් ඉදිකල  ස්ථානවල බාධක මැද දිගු දුරක්  දිවීම දහදිය , කඳුළු මෙන්ම විටෙක ලෙයද හැලීමට සිදුවන දුෂ්කර කාලසීමාවක් ජීවිත අත්දැකීම් වලට එක්වේ.අව්ව , වැස්ස හෝ වෙනත් කිසිදු බාධාවක් අපිව අභිභවා යා නොදී ඊට එරෙහිව සටන් කරන්නට අප හුරුකළේ ඒ කටුක පුහුණුවයි. එකිනෙකාට තමාගේ මහන්සිය නොපෙන්වමින් මහත් බරක් දරාගෙන අපි කෙමෙන් ගමනේ දුරින් භාගයක් පමණ පසුකළේ බොහොමයක් සෘජු බෑවුම් තරණය කරමිනි.

වැටී තිබූ ගසකින් අපි හොඳ ලී කැබලි තුනක් කපාගත්තෙන් බෑවුම් වලදී එය පහසුවක් ගෙන දුන්නේය. මඳන් මඳ බෑවුමද වනාන්තරයයේ සොභාවයද අපට එරෙහිව සිටියෙන් අපේ ගමන් වේගයට එය දැඩිව බලපෑවේය.  කුඩාවට බොහෝ තැන්වල අපහැදිලිව සටහන් වූ අඩිපාරක් වැනි මඟ සලකුන ද කෙමෙන් අපේ දසුනින් ඈත්විය.

රෑ බෝවේගෙන එන නමුදු ගමනේ කෙළවරක් නැත. එක් වරම වනය අසාමාන්‍ය ලෙස රළු වෙනු දැනිනි. අඩි කීපයක් යාගැනීමට විනාඩි ගනණාවක් ගතවූ තැන් ද බොහොමයක් අපි පසුකළෙමු. ඒ වනවිට දැඩි බෑවුම අඩුවී තිබුනත් වනාන්තරය මහා පවුරක් ලෙසින් අප ඉදිරියේ නැගී සිටියාය. කටු පඳුරු අපේ අත්  කපා දමා සූරා තුවාළ කර තිබිණි. උස් වූ ගස් යටින් දැඩි යටි රෝපනයක් ලෙස විවිධ වර්ගයේ පඳුරු වැවී තිබිණි. ගල් මතින් පනිමින් ගස් කොළන් අතරින් ගමන් කරීම අපහසු වූ බැවින් ඉදිරියෙන් යන කෙනා අතට කල්තබා රැගෙන ආ ලොකු පිහියක් ගතිමු. මිනිසුන් අසලක නැති මහ වනාන්තරයක , එවතුදු නොව දැඩි බෑවුම් සහිත කඳු පන්තියක් තරණය කරමින් සිටින අතරතුරක අපි මුහුණ දෙමින් සිටි තත්වය පිළිබඳ කටුක සත්‍යය කෙමෙන් වැටහීගියේ ය.

අපට මඟ වැරදී තිබිණි.

ආපසුයාමක් ගැන සිතන්නටවත් නොහැක. ගමන් වෙහෙස ද බලාපොරොත්තු කඩවීමද නන්නාඳුනනා මහ වනයක් මැද හුදකලාවීමේ බියද අපේ සිත් වල නොසන්සුන් කමක් ඇති කලේ නමුදු අපේ ජවය බාල කරන්නට සමත් නොවීය.

මඟ අහුරා මහා ගස් වැටී තිබිනි. කලෙකදී දියපහරක් යැයි සැක සිතූ වැලි සහ ගල් සහිත තැනකින් අපි උඩට නගින්නට පටන් ගත්තේ ඒ දිගේ ගියහොත් ගමනේ දුෂ්කරතාවය මඳක් අඩුවේ යැයි සිතමිනි. එන්න එන්නටම අඳුර වැටෙන්නට පටන් ගෙන තිබීමත් අතුයටින් රිංගමින් ලොකු බරක් සහිත බෑග් පිටේ එල්ලාගෙන ගස් කඳන් , ගල් හා කටු පඳුරු උඩින් පනිමින් යන ගමනේ නිමාවක් නොදැකීමත් අනතුරුදායක හැඟීමක සේයාවක් අප සිතේ ජනිත කළේය. රෑ බෝවෙන්නට කළියෙන් ටෙන්ට් එක ගසා ගත යුතුය. කළුවර වැටුන පසු මේ  වනාන්තරයේ කටු පඳුරු අතර ටෙන්ට් ගැසීම කළහැකි දෙයක් නොවේ.

අකමැත්තෙන් වුවත් හමුවූ මුල්ම කුඩා ඉඩක් සහිත ස්ථානයේ කූඩාරම ඉදිකිරීමට එකෙක් යෝජනා කළේය. කළින් දා වැටුනු වැස්සෙන් එහි බිම යම් මඩ සහිත එරෙන සුළු ස්වාභාවයකට පත්කර තිබිණි. තවද කූඩාරමක් ගැසීමට සුදුසු තැනිතලා ගතියක් ද එහි නොවිනි. කූඩාරම ඉදිකළද එළියට බසින තැනම තාප්පයක් මෙන් කුඩා හා විශාල පඳුරු ය.සිර ගෙයක ලගින්නාක් මෙන් අපට රාත්‍රිය ගතකිරීමට සිදුවෙයි. නමුත් විකල්පයක් නොමැත.

අපි බෑග් පිටෙන් බෑවෙමු. එකිනෙකා මහන්සි ඇරගනුවස් විනාඩියකුදු අපතේ යැවයේ නැත්තේ ආලෝකය තිබෙන්නේ තව විනාඩි කිහිපයක් පමණක් බව හොඳින් වැටහුණු බැවිනි. ඇරත් මේ ගස් ගොල්ලට කළින් ම රෑ වෙයි. කට්ට්ය වැඩේ පටන්ගත්තා පමණි. බඩගා නැගිය හැකි ගසක් අසල දුටු බැවින් මා අපහසුවෙන් එයට ගොඩවූයේ මේ අතොරක් නැති වනාන්තරයෙන් එහා කඳුමුඳුන කොයි දෙසකින් හෝ පෙනේවා යි පතමිනි. අවට සිසාරා බලමින් මඳින් මඳ ගස මුඳුනට ළඟාවීමි.

ටෙන්ට් ගහන එක නවත්තපාං !…

මම කෑ ගෑවෙමි. මා කෙමෙන් කෙමෙන් අවට වූ යටිරෝපනය පසුකරමින් ගසදිගේ ඉහළට ඇදෙනවිට අඩි ගණනාවක් උසට වැඩී තිබූ ගස් මුඳුන් හරිත වර්ණ ඇතිරිල්ලක් සේ මා ඉදිරියෙන් දිස්වන්නට වූයේය.ඊට ඔබ්බෙන් කඳු මුඳුනේ නැග්ම අවසන් වීමේ ලකුණක් ලෙස , ප්‍රපාතාකාර බෑවුමක් පැවතීමේ ලකුණක් ලෙස ඒ හරිත වර්ණ ඇතිරිල්ල මඳක් උස් වී පසුව නොපෙනී යයි.එනම් මා මේ දකින්නේ අපේ ගමනේ මෙතෙක් වේලා අප දැකීමට බලාපොරොත්තුව සිටි කඳු මුඳුනයි. තව පැය කාලක පමණ ගමනකින් පසු අපට ලඟා විය හැකි ස්ථානයයි.එයින් එහායින් වූයේ තවත් උස් වූ විශාල කන්දකි. ඒ කන්ද අප තරණය කරමින් සිටි කන්දෙන් බැස ගොස් නැවත නැඟිය යුතු දුරකින් පිහිටියා ය.

ඇසිපිය ගසන නිමේෂයකදී පවා දෙනෙත් ඉදරිපිට ඇදහැලෙන ඒ සුන්දරත්වය…

බිම පතිතවන්නට තතනන මඳ අඳුර අතරින් සඳ පායා ආවේය. පසු දා පොහෝ දියනක් බැවින් සඳ ඉතා වටකුරුව විශාලව අහසේ දිළිසෙමින් තිබිණි.වැසිබර දිනක ලකුණු මඟින් මඟට අපට  පෙන්වූව ද අපේ විඩාවට හා අපහසුකම් වලට මඳ අස්වැසිල්ලක් වෙමින් සඳ පායා තිබිණි. ඝන කළු නිල් පැහැයෙන් යුත් පැහැදිලි අහස පසුබිම් කරගෙන දීප්තිමත් ව බිනර සඳ පායා තිබිණි.

අවශ්‍ය ආම්පන්න ගෙනැවිත් තිබූ බැවින් වෙහෙස නොබලා ඉක්මනින් අපට කූඩාරම ගසාගැනීමට හැකිවිය. ඔසවාගෙන ආ භූමිතෙල් ලිප භාවිතයට නොගත් අපි ඉක්මනින් විස්කෝතු කැබලි කීපයක් චීස් සමඟ ආහාරයට ගත්තේ හැකි ඉක්මනින් කූඩාරමේ වැතිරීමේ බලාපොරොත්තුවෙනි.

සඳ එළිය හාත්පස වනාන්තරය මත සෙමින් වැතිරී තිබිණි. අපූර්ව ගුප්ත මේ වනාන්තරයට ඉන් යම් නිසංසලත්වයක් එක්කර ඇතුවාක් මෙනි.කඳුකර ශීත වනාන්තරවල බොහෝ උස් නොවූ කුරු ගස් වල සෙවනැළි සඳ පහනින් අප වටා චමත්කාරජනක වියමනක් අතුරා ඇත. පතන බිම සිසාරා ඇදී ආ සුළඟ සිහින් හඬක් නඟමින් අපට ඉහළින් ඇදී ගියේය. කූඩාරමින් එළියේ වූ ගල්කුළු කීපයක් මත හිදගත් අපි මඳ වෙලාවක් කතාබහේ යෙදීහිඳ නිඳාගැනීමට ඇතුළට රිංගුවෙමු. එතැන මඳ බෑවුම් සොභාවයක් පැවතිණි. නමුත් ගමන් වෙහෙසත් මඟ වැරදීමෙන් ඇතිවූ විඩාවත් අපට ඉතා ඉක්මනින් නින්ද ගෙන ආවේය.

කෙතරම් වෙහෙස තිබුණද වනාන්තරයේ සිව් කොණින් නැඟෙන හඬවල් අපේ නින්ද විටින් විට සොරාගත්තේය. මැදියම් රැයේ මා අවදිවීමි. කූඩාරමේ මඳක් ඉහළට වෙන්නට කුඩා කවුළුවක් තිබිණි. දැලකින්ද තවත් පිටත ආවරණයකින්ද වසා තිබූ ඒ කවුළුව මා විවෘතකර මඳකට ඉහළ බැළුවෙමි. පිටත මා දුටු දසුන දස වසරකට පසු මේ ලියන මොහොත වනවිටත් දැන් දුටුවා සේ මා සිතේ රැඳී තිබෙයි. එහායින් වූ කන්ද සඳ එළියෙන් මහා උසකට නැගී තේජසින් ඈත බලා සිටී.ඊට මඳක් ඉහළින් තරු පිරි අහසේ සඳ පායා දිළිසෙමින් තිබිණි. අවට කුඩා සතුන්ගේ නාදයෙන් අතොරක් නැතිව පිරී ගොසිනි. ඒ කන්ද පිහිටි පැත්තට බෑවුම් වන කුඩා ගස් වියන , සිවුරුහන් හඬ නඟමින් ඇදෙන සුළඟ , ඉන් එහා ඈත අනන්තය …. මනුෂ්‍යත්වය ඉක්මවූ එවන් දිව්‍යමය මායාවක් හා ඒකාත්මික වන මෙවන් මොහොතකදී විනා ඔබ සොබාදහමේ කොටසක් යැයි සිතෙන්නට වෙනත් අවස්ථාවක් එළඹෙන්නේ නැත. ඒ චමත්කාරයෙන් මඳ වෙලාවක් සිත පුරවාගනිමින් මා කල්පනා කළේ මොනවාදැයි මතක නැති නමුත් ඒ ආනන්දයෙන් ම නැවතත් මා නින්දට වැටුනු බවනම් මතකය.

ඒ කන්ද පිහිටි පැත්තට බෑවුම් වන කුඩා ගස් වියන

වෙලාව පාන්දර දෙකහමාරට පමණ වන්නට ඇත.පිටකොන්ද දිගේ සීතලක් දිව යනු දැනුණි.. මා සැණින් අවදිවී ඉඳගතිමි. සිදුවන්නේ කුමක්දැයි අමුතුවෙන් පැහැදිළි කර දෙන්නට උවමනා නොවීය. මීට පැය කීපයකට පෙර දුටු ඒ සුන්දර රාත්‍රිය බිනර මාසයේ චණ්ඩ කුණාටුවක් විසින් පළවා හැර තිබිණි. සිව් දිගින් ඇසුනේ ගස් කොළන් මතට වැහිදිය පතිත වන ශබ්දය හා අහසේ ගෙරවුම් හඬ පමණි. කූඩාරම සාමාන්‍ය වර්ෂාවකට යම් කාලසීමාවක් ඇතුළත ඔරොත්තු දෙන එකක් වූ නමුඳු මේ ධාරාණිපාත වර්ෂාවටනම් මිනිත්තු කීපයකට වඩා මුහුණ දෙන්නට එයට හැකි නොවීය.

නන්නාඳුනනා මහා වනාන්තරයක , ධාරාණිපාත වර්ෂාවක් මැද්දේ අපි අසරණ වීමු. මහන්සියට හරි හමන් නින්දක් යන්න පටන්ගත්තා පමණි. කූඩාරමේ ඉහළින් වතුර බේරෙයි. බිමදිගේ බෑවුම ඔස්සේ ගලායන ජලය කූඩාරම යටින් සීතලට ගලා යයි. වරින් වර පරිසරය නිල් පැහැ දීප්තියෙන් සලිත කරමින් විදුලි එළී නැඟෙයි. කරන්නට දෙයක් නොවූ තැන තෙමෙන තරමක් තෙමෙන්නට ඉඩදී අපි ඔහේ කූඩාරමේ ඉඳගෙන උන්නෙමු. අන්තිමේදී  දුම්බර අඩවියට අනවසරයෙන් ඇතුළුවූ ආගන්තුකයන් තිදෙනා සාදරයෙන් පිළිගැනීමට මෙන් වැස්ස වැස්සේය. ඊටම එපා වී පැයකට දෙකකට පමණ පසු වැස්ස පායා යන තුරුම අපි ඇහැරන් සිටියෙමු.  වැස්ස අහවරවී නින්ද ගියේ කොයි වෙලේදැයි අපි එකෙකුටවත් නිනව්වක් තිබුනේ නැත. තෙත බරිත ඇඳුම් වේලෙනතුරු කූඩාරමේ ඉඳගෙන ඉද්දී තිදෙනාටම උන්න තැන්වලම නින්දගොස් තිබුනේය.

පළමු උණුසුම් අරුණු රැස් නකල්ස් කඳුපන්තිය සිපගනිත්දීම මා අවදි වූයෙමි . පෙරදා වැස්ස කඳුයායට නැවුම් බවක් එක්කර තිබිණි. තෙත් වූ පසින් හා අළුත් මල් සහිත පැලෑටිවලින් කුමක්දෝ  ආකර්ශනීය සුවඳක් හමා එයි. සමනළයින් තැන තැන කුඩා පඳුරු වල පිපී උදෑසන අවදිවන්නට වූ මල් අතර එහෙ මෙහේ සරමින් කුඩා වනරොදට මහත් අලංකාරයක් එකතුකරයි. කූඩාරමෙන් එළියට ඇදුනු අපි එතැනම වූ කුඩා ගල් කීපය උඩ හිඳගතිමු. පෙරදා ඔසවාගෙන ආ වතුර කෑන් වලින් කුඩා භාජනයක් පුරවාගත් එකෙක් භූමිතෙල් ලිප පත්තුකර තේ සෑදීම සඳහා වතුර උණු කරන්නට පටන් ගත්තේය.

සිහින් දුමාරයක් මෙන් තවම උදෑසන මීදුම හාත්පස වෙළී තිබෙයි.  කුමක් දැයි හරියට නම නොදන්නා එහායින් වූ කන්දේ මුඳුනෙන් වලාකුළු පෙරී එන්නට පටන් ගෙන තිබේ. උදෑසන හිරිගඩු පිපෙන සීතලේ උණුසුම් තේ කෝප්පය අපමණ ආශ්වාදයක් ගෙනාවාය.

තේ බී අවසන් වී අපි මඳක් ඉහළට නැගගතිමු.  එතැන කුඩා එළිමහන් බිමක් වූ අතර එතැන අප සිටි කන්දේ එක් පසක බෑවුමකට ඉහළින් පිහිටියේය. එතැන් සිට මුළු මහත් දුම්බර මිටියාවතම දර්ශනය වෙයි. කඳු මුඳුන් වලට හිරුරැස් පතිත වෙමින් තිබිණි. ඈත කඳු ශිඛරයන් හි උදෑසන අහසේ නීල වර්ණය මුසුවී පෙනෙයි. වළාකුළු කැටි කඳු අතර හිස් අවකාශය පුරවා ඇත්තේ මුහුදක් මෙනි.සුළඟ විටින් විට කම්මුල් සීතලෙන් හිරිවට්ටමින් දිගින් දිගටම අප සිසාරා හමා යන්නට වූවාය. නම කියන්නට නොදන්නා නේක වර්ගවල කුරුල්ලන් උදෑසන ගායනය අරඹා තිබූයෙන් මුළු කඳු යායම එකම සංගීත සංධ්වනියක සිරි ගත්තේය. කුඩා පත්‍රයන් හා නො උස් වූ කඳන් සහිත ශීත කඳුකර ශාකයන් තවමත් පින්නෙන් සැරසී සිටිනු පෙනෙයි.  දම් පැහැති කුඩා මල් සහිත පැළ වර්ගයක් මුළු කඳුකරය පුරාවටම විසිරී පැතිර ඇත. යන යන තැනින් දම්පැහැයෙන් යුක්ත මේ මල් වල දසුන ඇස ගැටෙන්නේ මායාකාරී සුන්දරත්වයක් හාත්පස පරිසරයට එක්කරයි.

මෙහි නොකී බොහෝ ලොකු කුඩා සුන්දර අත්දැකීම් රැසක් එතැනදී අප එකතුකරගතිමු. කූඩාරම වටා ඇතිරී තිබුණු – මිදුලක මට්ටමට කපා ඇත්තා සේ ඇතිරී තිබුණු තණකොළ මත පිණි ඉහිරී තිබෙනු මට දැනුදු පෙනෙන්නා සේ ය. ඊට ඔබ්බෙන් වනාන්තරය පටන්ගන්නට පෙර ඉදිරී වැටුනු ගස් කඳන් සියුම් කලාකෘතියක් වැන්න. හිරු එළියෙන් ජවසම්පන්න වූ නිල් අහස ගස්වලට ඉහළින් නොදන්නා කුමක්දෝ ඉතා ගැඹුරු මානයක් කරා ඔබ රැගෙන යයි. එදින දහවල් වන තුරුම අපි කැලයේ ඇවිද්දෙමු.

සිතුවාට වඩා ලිපිය බොහෝ දිගවිය. දින ගනණාවක විවේක වේලාවන් එකතුකරමින් ටිකෙන් ටික කාලයක් පුරා ලියන්නට සිදුවූයෙන් සිතුවාට වඩා දිගු කාලයක් ඊට වැයවී තිබේ. තව ලියන්නට දේවල් බොහෝ එකතු වූවද තවත් කියවන්නා වෙහෙසකරන්නට සිත් නොදේ. දහවල් වන විට අප සතුවූ වතුර සියල්ලම ඉවර වූ අතර කඳු බෑවුම තරණය කරමින් එහා කන්දට නැගීමේ අදහසද අත්හැර දමන්නට සිදුවිය. සත්තු ජලය බීමට භාවිතා කරන මඩ සහිත එකම එක තැනකින් පවස නිවාගත් අපි දහවල පසුවනවිට ආපසු එන්නට හැරුනෙමු.

මේ ලිපියයේ ලියැවෙන්නේ මතකයට නැඟුනු මගේ ජීවිතයේ එක්තරා  සුන්දරතම දින කීපයක සටයන් ය . මා ඒ දින දෙකතුනේ ගනුදෙනු කළේ කවර අන්දමේ පරිසරයක් සමඟදැයි කියන්නට මට ඕනෑ විය. සමහරවිට ඔබ බලාපොරොත්තු වූ Adventure කතාන්දරයක් මෙහි නැත්නම් ඒ කුමක් නිසාවත් නොව මා අතිශෝක්තියෙන් කිසිවක් මෙහි ලියන්නට බලාපොරොත්තු නොවූ බැවිණි. මේ වනපෙත අදවන් සීතල රාත්‍රීන්හිදී ද, උදෑසන හිරුඑළිය පොළව සිපගන්නා තත්පරයේ දී ද නැවත නැවතත් මා කැඳවන්නීය. එය බිඳිය නොහැකි බැඳීමක් ලෙස ජීවිතයට එකතු වී තිබෙයි. එක දවසක් – එක් ගමනක් ජීවිත කාලයක මතක සටහන් ඉතිරිකර ඇත.( මෙහි විස්තරකෙරෙන ගමනේදී අප තිදෙනා විසින් ගත් ඡායාරූප දැනට මා සතුව නැති බැවින් මේ සමඟ ඇත්තේ පසුව නකල්ස් වෙත ගිය ගමනකදී ගත් ඒවා ය)

මා සමඟ ගිය එක් මිතුරෙක් දැන් වෛද්‍ය විද්‍යාලයෙන් පිටවී ගම්පහ රෝහලේ සේවය කරයි. කුමන දෛවෝපගත සිදුවීමක් දැයි නොදනිමි, අනිකා ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයෙන් සුදුසුකම් ලබා ආයුර්වේද වෛද්‍යවරයෙක් ලෙස සේවය කරයි.

දැං ඉතිං අහන්ඩ එපා ඉතුරු එකා මොන වෙදකමද ඉගෙනගත්තෙ කියල. මං කටු චිකිත්සාව ටිකක් ඉගෙනගත්තා -මරදාන පැත්තෙං , ඉස්කෝලෙ යන කාලෙදි🙂 . වියාපාර කටයුතු වලදි ඉතිං දන්නැද්ද , එක එක වෙලාවට එක එක කටු ගහන්ඩ ඕනෙ වෙනවනෙ. උන් දෙන්නම වෙද්දු වෙච්චි , මට ඉතිං නිකම්ම නිකං ලෙඩෙක් වෙන්ඩ බෑනෙ.

මෙච්චරවෙලා මාත් එක්ක නකල්ස් ගිය අය දැං උණුවතුර ටිකක් නාල ටිකක් නිඳාගන්න මහන්සිය යන්ට. හැබැයි , ටොෆි කොලයක් , පොලිතින් කෑල්ලක් තියා රටකජු පොත්තක්වත් කැලේ දාල නෙමේ නේද ආවෙ කියල කල්පනාකරල බලන්න. නිකරුනේ ගහක අත්තක් තියා කොළ කෑල්ලක් වත් කැඩුවෙ නෑ නේද කියලත් ආපහු මතක් කරල බලන්න.

මං හිතන්නෙ පණිවිඩේ තේරුණා . ගිහිං එන්නං.

ජය

ආදරණීය මිත්‍රයා…

බොහොම කාලෙකින් යෝගියා ආපහු සටහනක් ලියන්න ‍ගොඩවැදුනා.

හොඳ වෙලාවට යෝගියට තමුංගේ බ්ලොග් address එක මතක තිබ්බා.නැත්තං අපේ සරදියෙල් ගොයියා වගේ Google කරල තමා තමුංගේ බ්ලොග් එක හොයන්ඩ වෙන්නේ.( මේ ලිපිය පළවු පස් යෝගියා අබිරහස් ලෙස අතුරුදහන් වුවහොත් උතුවම් කන්දේ සොයන ලෙස මහජනතාවට මේ සමඟ ම දැනුම් දෙනු ලැබේ)

‍යෝගියා උපන්නේ නිදහස් දවසේ. ඒ කියන්නේ යෝගියා නමින් මා මෙහි ගොඩවැදී පළමු ලිපිය එහෙං මෙහෙං ලියල හාපුරා කියල  තැපැල් කලේ නිදහස් දවසේ හින්දා.. ඉතිං එදා ඉඳං මේ වෙනකං ලිපි හතරයි ලියල තියෙන්නේ. ඒත් අනුංගේ පිල් උඩට වෙලා කයිය ගගහ ඉඳලම දැන අඳුන ගත්තු ‍යාළු මිත්‍රයෝ රොත්තක් ම යෝගියට ඉන්නව දැං..

මේක හරිම පුදුම අත්දැකීමක්..ඔබ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යනවනම් මා මේ කියන දේ වැටහෙයි හොඳට. නන්නාඳුනන කෙනෙක් ඔබ ලියන දේ කියවලා ඔබව දිරිමත් කරලා පුංචි සටහනකුත් තියල යන්න තරම් හිතෛෂී වෙනවා. සාමාන්‍ය ජීවිතේ ඒ වගේ දේවල් දැං අපිට පුරුදු නැතුව ගිහිල්ලා හිංදා ඒක එකපාරටම ඔබව පුදුම කරවනවා. කාලයක් යනකොට ඔබ දෙයක් තේරුම් ගන්නවා.. අපිට සාමාන්‍ය ජීවිතේ එක්කම අළුත් සයිබර් ජීවිතයක් තියෙනවා. මට ඔබ හමුවුනේ එහෙමයි..

“බලපන් මේ කිසිම පණක් නැති අකුරු සංසාරික බැමි හොයාගෙන යන හැටි….”

බ්ලොග් අවකාශෙදී කෙනෙකුට මගේ පෞද්ගලික ඊමේල් ලිපිනයෙන් යවපු පළවෙන් ලිපියට පිළිතුරු විදියට උඹ එහෙම කියල එව්වා. (මේ උපුටා දැක්වෙන්නේ මා දැනට පෞද්ගලිකව හඳුනාගත් කීපදෙනෙකු වෙත යැවුනු හා එවුනු ලිපි වල කොටස් – ඔවුන්ගේ අවසරයකින් තොරව )

“ආදරණීය මිත්‍රයා…”
එහෙම තමයි මං ලියපු ලිපිය පටං අරං ති‍බ්බේ.. ජීවිතේට ම කතා කරල නැති උනත් ඒ ලෙංගතු ආමන්ත්‍රණය වැරදී ගියේ නෑ. මා හිතන්නේ ජීවිත කාලෙටම පවතින සහෝදර බැඳීම් කීපයක් මා ලියූ ඒ ලිපි කීපය මට ගෙනත් දුන්නා.

සාමාන්‍ය ජීවිතේ හිටපු යාළුවො ගොඩ දෙනෙක් එක්ක අපි අන්තර්ජාලය හරහා කතාකරනවා. ඒ නැතත් ජීවිතේට ලංවුනු  මිනිස්සුන්ගේ මතකය සුවඳක් වෙලා හැම වෙලාවෙම අපි ළඟ දැවටෙනවා.  ඊට ‍අමතරව පුරුද්දක් විදියට මහගෙදර ට ගොඩවැදිලා හැන්දෑවට කයියක් ගහගෙන ඉන්න නුඹ මාත් එක්ක එනවා බොහොම වෙලාවට.පාසලේදීත් වෙනත් බොහොම තැන්වලදීත් අපිට මුනගැහෙන යාළුවෝ බොහෝ විට අපි ඉන්න වටපිටාවේ අපි කරන කියන දේවලට සම්බන්ධ අය. ඒත් බ්ලොග් අවකාශෙදි ඒක සම්පූර්ණ වෙනස්.විවිධ තරාතිරම් වල ආගම් ජාති දේශපාලන මත දරණ විවිධ සමාජයේ විවිධ පැතිකඩවල් නියෝජනය කරන අය.

මුලදි ඒක වෙලාවකට තරමක් අපහසුවක් දැනෙන්නක්. ඒත් පස්සෙ හිමීට ඒක ඔබට හු‍රුවෙනවා ටිකෙන් ටික.තමා දරණ මතයට සම්පූර්ණම විරුද්ධ අදහසක් දරන කෙනෙක් එක්ක සුහදව කතාකරන්න එතකොට ඔබට පුළුවන් වෙනවා. ඔබට මතකනම් කලිනුත් දවසක මම ඔබට ලිව්ව වගේ

මේ කතාකරන යාළුවෝ මොන වගේ  ද කියලවත් දන්නේ නෑ. ඒත් ඔවුන්ගේ අදහස් මගේ අදහස් එක්ක සුසර වෙන වෙලාවට මෙයාගේ හැ‍ඩරුව මේ විදියයි කියලා හිතාගෙන කතා කරන රූපේ ඔක්කොම බොඳවෙලා ගිහින් ඉති‍රිවෙන්නේ අමුතුම බැඳීමක් විතරයි හිතේ …මනුෂ්‍ය සම්බන්ධතාවලට ඕනවෙන්නේ  මනුස්සකම යි සම්බන්ධ වෙන්නේ මනුස්සයෙක් එක්ක කියන එකයි විතරයි.භාෂාව ආගම පාට ජාතිය ඒ ඔක්කොම ඉතාම නොවැදගත් දේවල් ඊටපස්සේ…

අසනීපව රෝහලේ සිටි කාලයම නිරතුරු කතාකර සුවදුක් විමසුවේත් , මා රෝහලේ සිටිනා බව නොකී බැවින් බැණ අඬගැසුවේත් , මාගේ දුරකථන අංකය නොදන්නා නිසා සචී අක්කාට නිරතුරු කතාකරමින් විස්තර ඇසුවේත් , ඒ මනුෂ්‍යත්වය යි.ඒ සහෝදරත්වය යි.

අන්තිම බ්ලොග් Post එක ලියූ දින සිට අද වනතුරු ගතවූ කාලය මගේ ජීවිතේ වඩාම කාර්යබහුල කාළයයි.හැබැයි සතුටින්ම ගතවුනු කාළයක් . වෙනස්කම් බොහොමයක් ජීවිතේට එකතුවුනා. යෝගියාට තමා ජීවිතයේ කිසියම් දවසක ප්‍රාර්ථනා කළ විදියේ ඒ වෙනුවෙන් බෙහෝ වෙහෙසී වැඩකළ විදියේ  ව්‍යාපාරයක් සමඟ සම්බන්ධ වෙලා බොහොම සතුටින් වැඩකරන්න අවස්ථාව ලැබුණා.ජීවිතේ පළමු වතාවට නේවාසිකව රෝහල් ගතවෙන්නත් සිද්ධවුනා ( ඒකනං සතුටින් හිටපු කාලයක් නෙමේ ). ජීවත් වෙන්න බොහොම නිදසක් පරිසරයක් ලැබුනා. ඒ ඔක්කොටම වඩා යෝගියට යි හාමිනේටයි අළුත් Title එකක් හම්බවෙන්න යන සතුටුදායක ආරංචියකුත් ලැබුණා.

ඉතිං ජය පරාජයන් එක්ක ජීවිතේ හැප්පෙද්දී නුඹව අමතක උනා නෙවෙයි.වෙනස්වීම් , අළුත්වීම් , කරදර හැමදෙයක් එක්කම අතපසුවුනු රාජකාරී දේවල් අකුරටම කරන්නත් ඉදිරියේදී එවැනි අතපසුවීම් නොවෙන්න පරිසරය හදාගන්නත් යෝගියාට ඕනෙ වීම තමයි මේ පැත්තේ යෝගියට එන්න නොදුන්නේ.අදත් මේ වැඩ කරන ගමන් .. ලද පොඩි විවේකය ප්‍රයෝජනේට ගත්තා .

යෝගියට හිතෙන විදියට මේක ලිපියක් ම නෙමේ.. යාළුවෙක් බලන්න යන්න වෙලාවක් නැතුවාම නිකං සුවදුක් අහන්න call එකක් දීලා hello කියනව වගේ වැඩක්. ලිපියක් ලියවෙන්න තරම් නිදහස් දවසක් ඉක්මනටම ලැබෙයි. ඇරත් මේකට ලියන්න වෙනත් කීපදෙනෙක්මත් දායක වෙලා නේ.. ඔවුන්ගේ ලිපිවලින් උපුටාගත්තු කොටස් නිසා. ලිපිය අවසන් කරන්නත් උපුටාගැනීමක් ම පාවිච්චිකරන්නම්.

ඉතින් ඉඩ තියෙන වෙලාවට බ්ලොග් එකකදි හරි මේල් එකකින් හරි හමුවෙමු..

ලස්සනම ලස්සන දවසක් වේවා..

යෝගියට ලියන්න වුනු මලී ගේ ලියුම…

යෝගියා ඉතිං ලිව්ව ලියුමක් ...

යෝගියා බොහොම උනන්දුවෙන් පාසල් ගිය එකෙක් නෙමේ නේ කවදාවත්.
ඒ දවස්වල දෙකට පාසල ඇරිලා ගෙදර ආවොත් තුනහමාරවත් වෙනවා. හැබැයි ඉතිං ‍යාළුවොනං කියන්නේ යෝගියා දෙකට පාසල් ඇරිලා ගෙදර ගියොත් අම්මා , තාත්තටත් call කරලා ගමේ මිනිස්සුන්ටත් කියලා , හදිසි අවස්ථාවත් ප්‍රකාශයට පත්කරලා යෝගියව හොයන්ඩ පටං අරං කියලා මොකවත් කරදරයක් ද බලන්ඩ. මොකද හැමදාම උදේ පන්තියේ Register එක ලකුණු කරනකං ඉඳලා 10.00 වෙනකොට යෝගියා මාරු.  ( කොහොමද කියලනං අහන්ඩ එපා.ඇහුවට දැං වැඩක් නෑ .. ඉස්කෝ‍ලේ ව‍ටේ තාප්පේ ආපහු උස්සලා අඩි 12කටත් වැඩී වගේ ). තුනහමාර කියන්නේ පැය පහක් විතර ප්‍රමාදයි .

හැබැයි උසස් පෙළ ලංවෙච්චි කාලේ නං යෝගියා හුඟක් මහන්සිවෙලා පාඩං කළා.තනියෙං නං නෙමේ.යාළු මිත්තරයො රොත්තයි ගෙදර.බහු බුද්ධී විනාසාය ද මොකද්ද කියනවනේ.. චතුර , වරුණ , අංජු , බුද්ධික, නිශාන්ත .. සාක්කුවත් එනව ඉඳල හිටලා …

අම්මා හැමදාම උයනව දහයකට විතර. ගෙදර නිකං දානේ ගෙයක් වගේ. හැබැයි ඉතිං යාළුවොත් තමංගෙ ගෙදර වගේ හැමදේම බලාකියාගෙන හිටියා. හරිම සුන්දර කාලයක්..  ජීවිතේ ‍බලාපොරොත්තු වලින් පිරිච්ච ඒත් වගකීම් ගොඩක් හිතේ නැති , ‍කොහොම හරි පේරා ගිහිං ඉංජිනේරුවෙක් වෙන එක විතරක් හිතේ තිබුන හරිම සුන්දර කාලයක්.(ඒ බලාපොරොත්තුවනං ඉතිං සුං වෙලා ගියා – අපි ෂැලෙයිද අයියා ඕවට  :P  )
ඒ කාලේ ගැන වෙනම සටහනක් ලියන්නං. අද කියන්ඩ යන්නේ ඒක ගැන නෙමේ.

මේ පාඩං කරන කාලේ ඔය කලිං කියපු අංජුවා ගේ අයියා කෙනෙක් හිටියා පේරාදෙණියේ ඉංජිනියරිං ‍ෆැකල්ටි එකේ.ආදරේට කවුරුත් කිව්වේ ඌට අප්පච්චි කියලා.පාරෙ යන ගමං “මේ මචං, අප්පච්චි මේක පොඩ්ඩක් බලහංකෝ බං” කිව්වම වටේ පිටේ පොරවල් මූන ලන්ත්‍රාස් කරගෙන බලනව කව්ද බොල ‍අප්පච්චිට අඩෝ කියන පුතයා කියලා. මිනිහා ඉතිං හුදී ජන හිතසුව පිණිස හැම සෙනසුරාදම ඇවිත් අපිට Maths කියල දෙනවා – පිනට.

කොහොම හරි මිනිහ හැමදාම නුවර ඉඳං ඇවිල්ලා ගම්පහ Railway Station එකෙං බැහැලා යෝගියට call එකක් දෙනවා. ඉතිං පහසුකම් සලසන්නා වශයෙන් ඒ කාලේ යෝගියට තිබුනු පරණ Mate කට්ට පැදගෙන යෝගියා යනව මේකව කුදලං එන්ට.-වැරදුනා, කැන්දං එන්ට.
ඉතිං දවසද්දා මේකා පුරුදු පරිදි ගම්පහට ඇවිල්ලා යෝගියට call එකක් දීලා.මුගේ කරුමෙට ද මගේ කරුමෙටද නැත්තං අපේ තාත්ත‍ගේ කරුමෙටද දන්නෑ ඒක අපිට ඇහුන් නෑ.තුං හතරවෙනි පාර ඔන්න ට්‍රයි කරල කොහොම හරි ගත්ත කියමුකෝ.
Answer කලේ යෝගියා නෙමේ තාත්තා.

මූ ගත්තු ගමං කියපි , “ඈ බොල බල්ලෝ(සමාවෙන්න – ඒක තමා ඇත්තම වචනේ ඌ පාවිච්චි කරපු ).. උඹ මැරිලද ‍‍යකෝ හිටියේ.Phone එක වදිනව ඇහුන් නැද්ද කියලා ” කියලා. මළා නේද ? තාත්තා ඉතිං යෝගියගේ ම තාත්ත නේ. ගානක් නැතුව අහපි “ඇයි මචං මොකද වුනේ කියලා”. සින්ඩියට පොඩි ළමයිත් එන හින්දා මිනිහා අපේ තාත්තට දීපු පිළිතුර මේකේ මං දාන්නේ නෑ.
ඊළඟට මූ කියනවා , “මාව එක්කං යන්ඩ වරෙං . මං රේල් ගේට්ටුව ළඟ ඉන්නවා” කියලා. තාත්තටත් නිකං කට තියාගෙන ඉන්ඩ බෑනේ , එකක් අහගත්ත මදිවෙලා. අහනවා “මොකද්ද බං ඒ ගේට්ටුව ” කියලා. අරූ මොනවද සංස්කෘත ශ්ලෝක වගයක් කිව්ව අර ඩැනී බීපුවාම කියන ජාතියෙනුත් කලවමට දාලා. පස්සේ කියනව “අර කෝච්චිය යනකොට වහන ‍තඩි පොල්ල යකෝ ” කියලා.

මං මිනිහව ගෙදරට එක්කං එනකං කිව්වේ නෑ කතාකළේ මං නෙමේ කියලා.ඉතිරිය හිතාගන්‍ටකෝ. දැං විනාඩියකට කලිං තමං පරම්පරාව ම අමතලා බැනපු යාළුවගේ තාත්ත ඉස්සරහ හිටං ඉන්න මෝඩ මූනක් දාගත්තු ,ලොකු කන්නාඩි දාපු එකෙක් ..

මිනිහා දවසක් අපේ ලයිට් බිල ගේන මනුස්සයා දැකලා කිව්වා මචං බලපං කෝ. මට කවදාවත් කැම්පස් එකට ලියුමක් එන්නෑ නේ කියලා.
පව්නේ . කාගෙ වුනත් දරුවෙක් නේ . යෝගියා ගේ හිත උනුවෙලා ගියා නිකං අර දවසක් උණුකර නිවාගත් ජලය පානය කරන්න කියලා ලිපේ තියපු ප්ලාස්ටික් කෝප්පේ වගේ…
ඉතිං යෝගියා ලිව්ව ලියුමක්. හෝ ගාලා. ලියලා තැපැල් කළා අප්පච්චිගේ කැම්පස් ජීවිතේ ලැබුන පළමු හා අවසාන ලිපිය.
කියෝල ම බලන්ටකෝ…

2001.03.25

හිතවත් දීපාල් අයියා වෙත ආදරයෙන් ලියමි,

ඉතිං අයියේ , ඔයාගේ තොරතුරු කොහොමද ? එදා ඔයා අපේගෙදර ආපු දොහේ ඉඳං අපේ අප්පුච්චා මයෙත් එක්ක වැඩි මනාපයක් නෑ වාගේ මයෙ හිතේ.මූන දීලා කතාකොරන්නෙත් නෑ.මටනං ඔව්වයේ උලව්වක් නෑ ඉතිං. මයේ මොකොද? ඒ උනත් ඔයා ආයෙත් වතාවක් අපේ දිහා එන්ට හොඳ ද ?හැබැයි එදා වගේ කොස් දෙල් වැල මළු කද බැඳං එන්ට ඕන්නෑ. අපේ මුත්තම්ම ට නං ඔයැයි ව හොඳට හිතට අල්ල ලා ගෙහුං වාගේ. ඇස් හතරක් ඉතර තිඋනට අගේ ඇති කොලු පරානයක් කියලා අපේ අම්මණ්ඩි ( උන්දැගේ දුව ) එක්ක කියලා තියෙනවා.

අප්පුච්චාට ඔයා තව ටික දොහකිං ඉංජිනේරුවෙක් වෙනවා කියපුහාම උන්දැ අහපි ඒ මොකාද බොල ඒ කියලා.මං කිඋවා ලොකු ලොකු පාලං එහෙම හදන්නේ ඔය වගේ උන්නැහැල තමයි කියලා. ඒ විඩේ අප්පුච්චා කියනවා ඒ හුට්ටප්පරයා ට පාලමක් තියා වැටකඩුල්ලක් වත් බැඳගන්ට ඇහැක් ද කියලා.

අර වෙලේ මාමලයේ ලොකු කොලුවා අඹං ග‍‍ඟේ පාලම හදද්දී ගෙහුං අත්වැඩ දුන්නෙ , උඹේ බකමූනු පැටියට වඩා ඌ කොච්චර පාලං හදල ඇද්ද කියලා උන්දැ කිඋවා. පහල ඇලේ ඒ දණ්ඩත් කැඩිලා තිබිලා පොල් ලී කොටං දාලා හැදුවේ ඌ නේ , තොට ඕන්නං ඌව බැඳගං කියලා .ඒකා ඔයාට වැඩිය පෙනුමයි තමයි. ඒ උනාට ඒකගෙ මහ සෙප්පඩ විගඩං වැඩී කියලා ගමේ ගැටිස්සියො ඌව මායිං කොරන්නෑ.

කොහොමිං කොහොමිං හරි රෑ බෝ වෙලා. අර අපේ වත්තේ බැ ඳලා හිටිය නාකි එළදෙන මඩුවෙ බඳින්ඩ වෙලාවත් හරි. අපේ අම්මා කිව්වා උඹ ඒ කොල්ල එක්ක පැනල යන්ඩ එහෙම එපා , අපේ මූනෙ දැලි ගෑවෙයි කියලා. මම අප්පුච්චව කැමති කොර ගන්නං , අර නාකි එළදෙන මැරෙන්ඩ කලිං ඒකිව දෑවැද්දට දීලා උඹව පිටත් කොරඤ්ඤං කියලා.
ඔය අපේ අම්මත් අලි දෙඤ්ඤං කොටි දෙඤ්ඤං කිය කියා නෙව හැමදාම ඉන්නේ. ඒ නිසා ඔයාට අර නාකි වැස්සිව වත් හම්බුවෙයි ද දන්නෑ. ඒත් කමක් නෑ කියලා ඔයා කියයි වැස්සියො දෙන්නෙක් මට ඕනෙ නෑ කියලා.

මේක දැක්ක ගමං ම හැරෙන තැපෑලෙං මට ලියුං කරදහියක් එවන්ඩ. මං ඒක දකිනකං කොයිතරං පපුවේ ගින්දරකින්ද ඉන්නේ. රෑ වෙලා විස්ස විජ්ජාලේ උනත් ඇවිදින්ඩ යන්ඩ නාකයි.විසකූරු සත්තු නැතත් මොක්කු මොක්කු ඉන්නවද කවුද දන්නේ.

ඔයා‍ට වැස්ස වලාහක දෙයියංගෙ ම පිහිටයි.

මෙයට,

ආදරණීය මලී..

ප:ලි – ඔයාට විස්ස විජ්ජාලෙට කඋරුත් ලියුං එවන්නේ නෑ කියලා දුකෙං හිටිය නේ ද ? දැං මං ලියුං ලිය ලියා තැපැල් ‍කොරඤ්ඤං.

නම තියෙන තැන ‍ටිපෙක්ස් කරලා මේක උංගෙ ෆැකල්ටි එකේ මොකද්ද බිත්ති සඟරාවක ද කොහෙද දාලා තිබ්බා කියලා ආරංචි උනා පස්සේ …
අත් අකුරු වෙනස් කරලා ලියපු මේ ලියුම යෝගියා ආපහු ඉල්ලගත්තා. තාම තියෙනවා පරිස්සමිං යෝගියගේ පරණ එකතුවේ…

නිමේෂයක කතාවක්…

සඳ එළිය චමත්කාරය. බොහෝ චමත්කාරය. අප නැවතුනේ වෙල්යාය මැදින් දිවෙනා ප්‍රධාන මාර්ගය පසෙකට වී තුබූ විසල් ගස් සෙවනේ ය.සඳ එළිය , අප්‍රමාණ කෙත් යායට ගැඹුරක් එක් කර ඇත.පෝය ගෙවී දිනකට හෝ දෙකකට පසු දිනක් වුයෙන් සඳ එළියෙන් හාත්පස ආලෝකවත් වේ.මීදුම් ‍රැල්ලක් මෘදුව හාත්පස වෙළාගන්නේ මඳ අඳුරේ සුළඟින් සෙළවෙන දුර්මුඛ සෙවනැලි බොඳකර දමමිනි. වෙල් යාය බො‍හෝ විශාල වුවද ඒ එකම යායක් ලෙසින් දිස් නොවේ. තැනින් තැන නැඟුනු හුදකලා ගස් දෑත් ඉහලට ඔසවා සිටින්නේ , යොගියා කුඩාකල පාසලේදී දුටු දුඹුරු නිළඇඳුම ඇඳගත් මුරකරුවා සිහිගන්වයි.කෙතරම් අයිතිවාසිකම් පෑවද සඳ එළියේ තේජස වෙල කෙළවරේ ඈත ගස් පේලිය අසලදී රාත්‍රියේ සදාතනික උරුමය වූ කළුවරින් යටපත් වෙයි.

අපේ සෑම සති අන්තයකම ගෙදර බලා දුවන්නේ ඉස්පාසුවක් නැතිවය. හැමටම වඩා ඒ දින දෙකේ දී අනිත් අයගෙන් අ‍පි දෙදෙනාව සොරාගැනීමට බලා සිටින කුඩා සාමාජිකයා නිසාවෙනි.ඔබ කලින් යෝගියාගේ සටහනට ගොඩවී ඇතිනම් මේ කියන්නේ ඔබ හදුනන original යෝගියා ගැනය. සෙනසුරාදා ඉරිදාට නම් ඔහුට බාප්පා සහ චූටි පමණකි. පරිසරයට, සතා සීපාවාට අසීමිතව ආදරය කරන ඔහුට එළුවන් හා හරක් පට්ටි ඇති ගමේ නිවෙස් වල අපට වඩා දැන හඳුනන‍්නෝ සිටිති.

“මෙයා එනවා සීයත් එක්ක උදේට” එළුවන් බලාගන්නා අයක් කියයි. හිත පිරී යන්නේ දරුවා බැමි ගසා වෙන් කර ඇති ලෝකයෙන් පිටමන් වී ජීවිතය සොයා යන්නට තවත් විදියක් සොයාගෙන තිබේන නිසාය. දවස මොනවා කළද රෑ බෝ වන විට ඔහුට හඳ හාමි ද තරු ද බලන්නට ඕනෑ වෙයි. “බාප්පේ , කෝ තරු …” ඊට බලාපොරොත්තු වන්නේ වාචික පිළිතුරක් නොවේ.
මේ ඇවිත් ඉන්නේ ඒ පිළිතුර දීමටය.

මඳ සීතලක් සමඟ ගත පිනා ඇදී ආ මෘදු සුළං රැල්ල, ගෙන්දගම් පොළොවේ උණුසුමෙන් හැකිලී තුබූ අපේ පෙනහළු සිසාරා මහත් ආශ්වාදයක් රැගෙන ගලා ගියේය.සුළං රැළි , එකක් පසු තව එකක්. සුළඟ මේ රැගෙන එන්නේ ජීවිතයයි. කර්කශ වූ , කාර්යබහුල වූ , විඩාවෙන් හෙම්බත් වූ හෝරාවල්වලට මුවා වී ගෙවී යන අපේ ජීවිතයයි.

ගොයම් කපා ඇත. ඉතිරි වූ ඉපනැලි වලින් නැවුම් පිදුරු සුවඳ හමා එයි.

මගේ දැහැන බිඳිමින් එක්වරම අප පසුකරමින් ඇදී යන වාහනයකි. පව් – මිනිස්සු. මෙච්චර ලස්සන ලෝකයක් දාලා ජීවිතේ හොයන්න යන මිනිස්සු. මට ඇතිවූයේ දුකක් ද , පරාජිත බවක්දැයි සිතාගත හැකි නොවේ.අද මේ මොහොත නොවේ නම් , මාද ඉන්නේ ඔවුන්ගේ ගොඩේ ය.

ඉන්පසු එළඹෙන්නේ දෙකන් බිහිරිකරවන නිශ්ශබ්දතාවය යි.කෙමෙන් රැහැයියන් හා අනිකුත් කුඩා සතුන්ගේ කිරි කිරි හඬ නෑසී යන්නට පටන් ගනී.විශ්වයේ කවදාක හෝ තිබූ අන්තිම හඬත් සඳ රැසින් මැවුනු මේ චමත්කාර දසුන හමු‍වේ මඳින් මඳ අඩුවීගෙන ගොස් නැත්තටම නැති වෙයි.ගැඹුරු සමාධියකට පත්වූවාක් මෙන් නිදහස් සැහැල්ලු හැඟීමකට ඔබ පත්වෙයි. ඔබ කවමදාක හෝ එවන් නිශ්ශබ්දතාවයක් විඳ ඇතුවා විය යුතුය.පොඩිඑකා සිටින්නේ එය විඳීමට තරම් මේරූ වයසක නොවේ.මේ වෙලාවෙදී ඉදිරිපත් වියයුතු වන අනිවාර්ය ඉල්ලීම එවෙ‍ලේ ඉදිරිපත් විය.

“චූටී , තරු සිංදු කියන්ඩ …” උගේ අම්මාට ද අත්තම්මාටද ඈ චූටී ය. ඉදින් , තමා එය වෙනස් කළ යුතු නැතැයි පොඩි‍එකා සිතයි.

ඈ මේ කුරුළු පැටියා තුරුළුකරන් තරු සිංදුව ගයන්නට පටන් ගත්තාය.

අහස් ගැබේ තරු කැට ගානේ,
පොළෝ තලේ වැලි කැට ගානේ
නිල් සයුරේ රළ පෙළ ගානේ
ආදරෙයි මං ආදරෙයි..

හැමදාම වාගේ සතිඅන්තයට දරුවා නිදන්නේ මේ ගීයත් සමඟිනි.හඳ හාමිත් නැති තරුත් නැති නපුරු රාත්‍රියක අද වගේම අපිත් සමඟ ඔහුගේ දවසේ නිඳන චාරිකාව යන්නට පැමිණ උන්නේය. අහස මුලුමනිනිම කළුවර වී තිබූ අතර සඳ තරු කිසිවෙකුත් අහසේ දක්නට නොවීය.
“පුතාට තරු ගැන මං සිංදුවක් කියන්නං…”කරන්නට දෙයක් නොවූ තැන ඈ ගැයුවාය. ඒ ඇගේ මතකයට ආ එකම තරු සම්බන්ධවූ ගීතයයි.
දරුවාගේ සිතේ චමත්කාර තරු රෑනක් මවන්නට ඒ ගීයට හැකිවී තිබිනි.සැබෑ අහසේ නොදුටු අපූර්වත්වය මේ කුඩා ජීවියා තම සිහින ලෝකයේ දකින්නට ඇත.එදා සිට අද දක්වා හැම සති අන්ත දිනකම දරුවාගේ නින්දට නිල අනුග්‍රහය දක්වන්නේ මේ ගීතයයි.

මට මේ වැල්වටාරම් ගොඩත් සමඟ කියන්නට උවමනා වූයේ එකම දෙයකි.අපේ පරපුරද යම් තාක් දුරට හෝ පරිසරය හා බැඳීමට තරම් වාසනාවන්ත වූයෙමු.ඇළක දොලක නෑවෙමු. වෙල් නියරවල් ගානේ සරුංගල් ඇදන් දිව්වෙමු. අපෙන් පසු පරපුර හැදෙන්නේ කෘතිම පරිසරයක් තුළය.කෑමේ බීමේ ඉඳන් ජීවිතේ හැම දෙයක්ම රටින් ගෙනෙන කෘත්‍රිම දේවල් ය. උන්ට ද අපි ලැබූ පරිසරය ලැබිය යුත්තේය. එළු පැටියෙක් දෝතට ගෙන හුරතල් කරන්නට, ආදරේ කරන්නට අවස්ථාවක් නොමැතිනම් අසල්වැසියාට ‍ප්‍රේම කරන්නට උගන්වන්නේ ඉන්ටර්නෙට් එකෙන් දැයි අසන්නට සිතේ.

ඈ මගේ පිටට සෙමෙන් තට්ටුකළාය.ඒ සංඥාව දැන් අත්දැකීමෙන් දනිමි. පොඩිඑකා තමාගේ අහිංසක සිහින ලෝකයට ඇතුල් වන්නට ඇත්තේ අසීමිත ආනන්දයකින් බවනම් සහතිකය.

මම ඉදිරිපස ලාම්පු දල්වා නැවතත් සෙමෙන් මාර්ගයට අවතීර්න වීමි.

තාත්තා…

පුංචිම කාලේ යෝගියා උදේට ඇ‍ඳෙන් නැඟිටලා තනියෙං බැහැල යන්නේ නැ. තාත්තේ … කියලා ගේ දෝංකාර දෙනකං කෑ ගහනවා. හැබැයි දෙවෙනි පාර කෑගහන්න කලින් තාත්තා ඇවිත් යෝගියාවයි , නංගිවයි අත් දෙකට අරන් වඩාගෙන කුස්සියට එක්කන් යනවා. ඒ පුරුද්ද නැතිවුනේ යෝගි‍යා 5 වසරේ ශිෂ්‍යත්ව විභාගෙන් ඉවර වෙලා වෙන පාසලකට යන්න පටන් ගත්තට පස්සේ . එතකොට යෝගියාට නැඟිටින්න වුනේ උදේ 5ට . බුදු අම්මෝ. පාන්දර වෙනකං රෑට ඇහරං ඉන්න එකත් ලේසි. උදේ නැඟි‍ටීම පිළිබඳව නං යෝගියා හැමදාම හිටි‍යේ විපක්ෂ කණ්ඩායමේ ( දැං වගේම තමා ).

ඉතිං ඒකාලේ තාත්තා ඇවිල්ලා දහසක් දේවල් කියලා යෝගියව ඇහැරවනවා. කවදාවත් දැං වෙලාව ගිහිං කියලා කෑගහල නෑ.ඒ වගේම යෝගියා සපත්තු දෙක අතේ අරං වෑන් එකට දුවපු දවසුත් තියෙනවා.ආයෙ මොකටද . 7 වසර පහු වෙනකං ම යෝගියාව වඩාගෙන තමා තාත්තා කුස්සියට එක්ක යන්නේ. උදේ සීතල නිසා යෝගියා ව කෙළින් ම ගිහිං ලිප ළඟින් තමයි Land කරන්නේ.

ඉතිං දැං යෝගියා විවාහ වෙලා අවුරුද්දක් උනත් තාම කන බත්කට මුලින්ම පුතාලා , දුවලා හැම දෙනාටම කවලා තමයි තාත්තයි අම්මයි කන්නේ.ඒ ආදරේ තමා යෝගියා අද ඉන්න තරං දුරක් එක්කරං ආවේ. ( අපේ හාමිනේටත් ඕකෙං credit ටිකක් යනව‍ ‍හොඳද? – නැත්තං අද රෑට ‍කඩෙං තමා කෑම )

පොඩි ‍කාලේ ඉඳං යෝගියා තාත්තව දැක්කේ යෝධයෙක් වගේ. විශ්ව විද්‍යාල උපාධියක් නොතිබුනත් ‍සාහිත්‍යය , සංගීතය වගේ දේවල ඉඳලා දේශපාලනය , ඉතිහාසය වගේ බොහෝ පුළුල් විෂය පරාසයක විහිදුනු දැනුමක් තාත්තා ළඟ තිබුනා. පොඩි කාලෙදී ගෙදර රාක්කයක් ම පුරවලා තිබුන වටිනා සාහිත්‍ය පොත් සියල්ලම වගේ තාත්තා එකතු කරපුවා.
ඉතිං 2004 අවුරුද්දේ අද වගේම දවසක යෝගියාත් ‍අම්මාත් නංගීත් යෝගියාගේ ගෑනු ළමයත් එක‍තුවෙලා තාත්තාට පොඩි තෑග්ගක් දුන්නා.ඒකාලේ යෝගියාට මාර කෝඩේ. දන්නවනේ ඉතිං. කොහොම හරි තෑග්ග ගන්ඩ මූල්‍යමය දායකත්වය දැරුවේ අර කලිං නම් ලිස්ට් එකේ අන්තිමට හිටපු එක්කෙනා.තාත්තට ගැලපෙන තෑග්ගක් තෝරලා තෝරලා අන්තිමට හම්බවුනා හොඳම තෑග්ගක්.
ඒ තමා මහ පිරිත් පොත. ලස්සනට ඔතලා තෑග්ග දෙන්ඩ කලින් මොනවහරි ලියලා දෙමු කියලා නංගි යෝජනා කලා. ඉතාම හදිස්සියෙන් රටකජු ගෙනාපු කවරයක පිටිපස්සේ යෝගියා පුංචි කාලේ ඉඳලා දැකපු තාත්තව අකුරු වලින් සිත්තම් කළා.කබඩ් එකේ තිබිලා හොයාගත්තු මහ පිරිත් පොතෙන් ආපහු අහුලගත්තු ඒ අකුරු සිත්තම තමයි මේ.

චන්ඩ රැළ ,සැඩ සුළඟ
අඳුරු වැසි මීදුමේ
හිරැ එළිය ලෙස නැ‍ඟෙන
පහන් ටැඹ නුඹ අපට …

ගති සිරිත් , බෝ විසල්
දැනුම සිසිලෙන් පෙඟුන
සුභාෂිත සැළලිහිණි
කවි උනේ නුඹ අපට …

මඟ අතුළ කටු පඳුරු
සතුරු උවදුරු අතර
බල පවුරු මුර යොදන
සෙනවිඳුන් නුඹ අපට …

සිල් සුවඳ පතුරලා
බුදු කුටිය සේ ගෙදර
මහ පිරිත් පොත වගෙයි
තාත්තේ නුඹ අපට …

ඒක දැකලා තාත්තාගේ ඇස් දෙකට කඳුළක් ඉනුවද කියලනං යෝගියා දැක්කේ නෑ.ඒත් පුංචි කාලෙදි වගේම නංගිවයි යෝගියවයි අත්දෙකින් තුරුළුකරං ගොඩක් වෙලා හිටියා කියල විතරක් යෝගියට මතකයි.

ඉතිං , ආදරණීය තාත්තේ ඔබට සුබම සුබ උපන් දිනයක්.

– ජය

ආයුබෝවන් …

හෙන professional විදියට ආයිබෝං එහෙම කියලා , යෝගියා වැඩ පටං ගත්තා ඕං එහෙනං.කාලෙක ඉඳලා බොලොගයක් ලියන්ඩ පෙරුම් පුර පුර හිටියට කොහෙන් පටන් ගන්ඩද කියල හිත හිත හිටිය මිසක් වැ‍ඩේ පටන් ගැනුනේ නෑ. ඔන්න ඔහෙ ඕන එකක් වෙන්න කියලා මේ සැරේ නං පටං ගත්තා. මේක කවුරැවත් බලයි ද මංදා. වැරදිලාවත් බැලුවොත් එහෙම කියලා කෝකටත් යෝගියා ගැන විස්තර ටිකක් කියන්නං.

මුලින්ම කියන්න ඕනේ යෝගී කියන්නේ මං නෙවෙයි ( මූ මොකාටද එන්ඩ හදන්නේ – බලමුකෝ කියවලා) . ඒ මං ලොකේ වැඩිපුරම ආදරේ කරන කීප දෙනාගෙන් එක්කෙනෙක්.මේකයි උනේ .මුල්ම බොලොගය හින්දා මං මොනව ලියයිද දන්නෑ නේ. වෙලාවකට ලියන්ඩ ගියාම බ්‍රේක් නෑ නේ.ඉතිං මගේ නම ගම එහෙම දාලා පත්තරේ දාලා Blog එකක් පටං අරං මොනව හරි බහු බූතයක් ලියල තිබ්බොත් මලා නේ.ඔන්න ඔහොම හිතලා මගේ සැපට දුක‍ට පැදුරු කඩමාල්ල වගේ ඉන්න මිත්තරයෙක් – කවුරුත් නෙමේ , ඕගොල්ලංගේ සරදියෙල් මලයා – උපදෙස් දුන්නා මුලදි වෙනස් නමකිං පටං ගත්තොත් හොඳා කියලා. අනේ ඉතිං දෙයියනේ කියලා මාත් නමක් හෙව්වා. ජනවාරි ඉඳං පෙබරවාරි වෙනකං ම හෙව්වා තමා. නමක් හොයන්ඩ ‍නන්දිකඩාල් කලපුවට විතරයි නොගියේ. කොහොම හරි ලෝකේ වටේ ම ගිහිං ගෙදර එනකොට අක්කගේ පොඩි බබා එක්කං ඇවිල්ලා ගෙදර.මිනිහා යෝගීත්. ඔන්න හම්බුනා නම.කොල්ලට ඔය නම දාමු කියන යෝජනාවත් මගේ ම තමා.ඉතිං ම‍ට දාගන්ඩ ඔයිට වඩා හොඳ නමක් තියෙනවද?

ඉතිං කිව්වේ මං ගැන නෙවෙයි‍නේ.Original යෝගියා ගැන නේ. මං ගැන කියනවානං …

යෝගියා ට යාළුවෝ නං ගොඩක් නෑ.ටිකක් ඉන්නවා , ගොඩකට හරියන්න – ඒ හොඳටෝ ම ඇති.

ලස්සන දෙයක් දැකලා ඒ ගැන සතුටු වෙන්නත් , ලස්සන සිංදුවක් සංගීතයක් අහල ඒකෙන් හිත නිවාගන්නත් යෝගියා හරි කැමතී.ගෙදර සහ තමන්ගේ කියන අයත් එක්ක ‍ගොඩක් ආදරෙන් ඉන්නත් , ඒ ආදරේ හැමදාම තියාගන්නත් තමයි යෝගියාගේ ප්‍රාර්ථනාව හැමදාමත්. හිතේ සංතෝසේ තියනවනං තව වෙන මොනවද ?

යෝගියාට ගොඩාක් ලොකූ හීනත් තියෙනවා.. මොකටද බොරු කියන්නේ. යෝගියා නං හිතන්නේ ලොකූ පාට පාට හීන තියෙන්න ඕනේ මිනිස්සුන්ට.එතකොට තමයි මිනිස්සු ඉස්සරහට යන්නේ.

යෝගියා සාමාන්‍යයෙන් ‍කොහොමත් කාත් එක්කත් Argue කරන්න යනවා අඩුයි.වැරදිලාවත් තර්ක කරන්න අකමැති දේවල් 3ක් තියෙනවා ප්‍රතිපත්තියක් විදියට.දේශපාලනය ,ආගම , ජාතිය කියන දේවල් තමා ඒ.යොගියා දේශපාලනය කතා කරන්නේ ගෙදරදී තාත්තා එක්ක විතරයි – මොකද අපි දෙන්නම එක පක්ෂෙ නේ🙂

ඉතිං විස්තරේ නං දිග වැඩී ‍වගේ.ඒකනේ මුලින්ම කිව්වේ , ලොක්කට බ්‍රේක් නෑ කියලා.මේක ලියන්ඩ ගත්තහම තමා මාත් හරියට මං ගැන කල්පනා කලේ.යකෝ පොතක් ලියන්ඩ බැරියැ යොගියා ගැන- විහිළුවක් හො‍ඳේ  :)

කොහොම හරි යෝගියා කුළුඳුල් ලිපිය ලිව්වා ඕං.

– ජය