තාත්තා…

පුංචිම කාලේ යෝගියා උදේට ඇ‍ඳෙන් නැඟිටලා තනියෙං බැහැල යන්නේ නැ. තාත්තේ … කියලා ගේ දෝංකාර දෙනකං කෑ ගහනවා. හැබැයි දෙවෙනි පාර කෑගහන්න කලින් තාත්තා ඇවිත් යෝගියාවයි , නංගිවයි අත් දෙකට අරන් වඩාගෙන කුස්සියට එක්කන් යනවා. ඒ පුරුද්ද නැතිවුනේ යෝගි‍යා 5 වසරේ ශිෂ්‍යත්ව විභාගෙන් ඉවර වෙලා වෙන පාසලකට යන්න පටන් ගත්තට පස්සේ . එතකොට යෝගියාට නැඟිටින්න වුනේ උදේ 5ට . බුදු අම්මෝ. පාන්දර වෙනකං රෑට ඇහරං ඉන්න එකත් ලේසි. උදේ නැඟි‍ටීම පිළිබඳව නං යෝගියා හැමදාම හිටි‍යේ විපක්ෂ කණ්ඩායමේ ( දැං වගේම තමා ).

ඉතිං ඒකාලේ තාත්තා ඇවිල්ලා දහසක් දේවල් කියලා යෝගියව ඇහැරවනවා. කවදාවත් දැං වෙලාව ගිහිං කියලා කෑගහල නෑ.ඒ වගේම යෝගියා සපත්තු දෙක අතේ අරං වෑන් එකට දුවපු දවසුත් තියෙනවා.ආයෙ මොකටද . 7 වසර පහු වෙනකං ම යෝගියාව වඩාගෙන තමා තාත්තා කුස්සියට එක්ක යන්නේ. උදේ සීතල නිසා යෝගියා ව කෙළින් ම ගිහිං ලිප ළඟින් තමයි Land කරන්නේ.

ඉතිං දැං යෝගියා විවාහ වෙලා අවුරුද්දක් උනත් තාම කන බත්කට මුලින්ම පුතාලා , දුවලා හැම දෙනාටම කවලා තමයි තාත්තයි අම්මයි කන්නේ.ඒ ආදරේ තමා යෝගියා අද ඉන්න තරං දුරක් එක්කරං ආවේ. ( අපේ හාමිනේටත් ඕකෙං credit ටිකක් යනව‍ ‍හොඳද? – නැත්තං අද රෑට ‍කඩෙං තමා කෑම )

පොඩි ‍කාලේ ඉඳං යෝගියා තාත්තව දැක්කේ යෝධයෙක් වගේ. විශ්ව විද්‍යාල උපාධියක් නොතිබුනත් ‍සාහිත්‍යය , සංගීතය වගේ දේවල ඉඳලා දේශපාලනය , ඉතිහාසය වගේ බොහෝ පුළුල් විෂය පරාසයක විහිදුනු දැනුමක් තාත්තා ළඟ තිබුනා. පොඩි කාලෙදී ගෙදර රාක්කයක් ම පුරවලා තිබුන වටිනා සාහිත්‍ය පොත් සියල්ලම වගේ තාත්තා එකතු කරපුවා.
ඉතිං 2004 අවුරුද්දේ අද වගේම දවසක යෝගියාත් ‍අම්මාත් නංගීත් යෝගියාගේ ගෑනු ළමයත් එක‍තුවෙලා තාත්තාට පොඩි තෑග්ගක් දුන්නා.ඒකාලේ යෝගියාට මාර කෝඩේ. දන්නවනේ ඉතිං. කොහොම හරි තෑග්ග ගන්ඩ මූල්‍යමය දායකත්වය දැරුවේ අර කලිං නම් ලිස්ට් එකේ අන්තිමට හිටපු එක්කෙනා.තාත්තට ගැලපෙන තෑග්ගක් තෝරලා තෝරලා අන්තිමට හම්බවුනා හොඳම තෑග්ගක්.
ඒ තමා මහ පිරිත් පොත. ලස්සනට ඔතලා තෑග්ග දෙන්ඩ කලින් මොනවහරි ලියලා දෙමු කියලා නංගි යෝජනා කලා. ඉතාම හදිස්සියෙන් රටකජු ගෙනාපු කවරයක පිටිපස්සේ යෝගියා පුංචි කාලේ ඉඳලා දැකපු තාත්තව අකුරු වලින් සිත්තම් කළා.කබඩ් එකේ තිබිලා හොයාගත්තු මහ පිරිත් පොතෙන් ආපහු අහුලගත්තු ඒ අකුරු සිත්තම තමයි මේ.

චන්ඩ රැළ ,සැඩ සුළඟ
අඳුරු වැසි මීදුමේ
හිරැ එළිය ලෙස නැ‍ඟෙන
පහන් ටැඹ නුඹ අපට …

ගති සිරිත් , බෝ විසල්
දැනුම සිසිලෙන් පෙඟුන
සුභාෂිත සැළලිහිණි
කවි උනේ නුඹ අපට …

මඟ අතුළ කටු පඳුරු
සතුරු උවදුරු අතර
බල පවුරු මුර යොදන
සෙනවිඳුන් නුඹ අපට …

සිල් සුවඳ පතුරලා
බුදු කුටිය සේ ගෙදර
මහ පිරිත් පොත වගෙයි
තාත්තේ නුඹ අපට …

ඒක දැකලා තාත්තාගේ ඇස් දෙකට කඳුළක් ඉනුවද කියලනං යෝගියා දැක්කේ නෑ.ඒත් පුංචි කාලෙදි වගේම නංගිවයි යෝගියවයි අත්දෙකින් තුරුළුකරං ගොඩක් වෙලා හිටියා කියල විතරක් යෝගියට මතකයි.

ඉතිං , ආදරණීය තාත්තේ ඔබට සුබම සුබ උපන් දිනයක්.

– ජය

Advertisements

ආයුබෝවන් …

හෙන professional විදියට ආයිබෝං එහෙම කියලා , යෝගියා වැඩ පටං ගත්තා ඕං එහෙනං.කාලෙක ඉඳලා බොලොගයක් ලියන්ඩ පෙරුම් පුර පුර හිටියට කොහෙන් පටන් ගන්ඩද කියල හිත හිත හිටිය මිසක් වැ‍ඩේ පටන් ගැනුනේ නෑ. ඔන්න ඔහෙ ඕන එකක් වෙන්න කියලා මේ සැරේ නං පටං ගත්තා. මේක කවුරැවත් බලයි ද මංදා. වැරදිලාවත් බැලුවොත් එහෙම කියලා කෝකටත් යෝගියා ගැන විස්තර ටිකක් කියන්නං.

මුලින්ම කියන්න ඕනේ යෝගී කියන්නේ මං නෙවෙයි ( මූ මොකාටද එන්ඩ හදන්නේ – බලමුකෝ කියවලා) . ඒ මං ලොකේ වැඩිපුරම ආදරේ කරන කීප දෙනාගෙන් එක්කෙනෙක්.මේකයි උනේ .මුල්ම බොලොගය හින්දා මං මොනව ලියයිද දන්නෑ නේ. වෙලාවකට ලියන්ඩ ගියාම බ්‍රේක් නෑ නේ.ඉතිං මගේ නම ගම එහෙම දාලා පත්තරේ දාලා Blog එකක් පටං අරං මොනව හරි බහු බූතයක් ලියල තිබ්බොත් මලා නේ.ඔන්න ඔහොම හිතලා මගේ සැපට දුක‍ට පැදුරු කඩමාල්ල වගේ ඉන්න මිත්තරයෙක් – කවුරුත් නෙමේ , ඕගොල්ලංගේ සරදියෙල් මලයා – උපදෙස් දුන්නා මුලදි වෙනස් නමකිං පටං ගත්තොත් හොඳා කියලා. අනේ ඉතිං දෙයියනේ කියලා මාත් නමක් හෙව්වා. ජනවාරි ඉඳං පෙබරවාරි වෙනකං ම හෙව්වා තමා. නමක් හොයන්ඩ ‍නන්දිකඩාල් කලපුවට විතරයි නොගියේ. කොහොම හරි ලෝකේ වටේ ම ගිහිං ගෙදර එනකොට අක්කගේ පොඩි බබා එක්කං ඇවිල්ලා ගෙදර.මිනිහා යෝගීත්. ඔන්න හම්බුනා නම.කොල්ලට ඔය නම දාමු කියන යෝජනාවත් මගේ ම තමා.ඉතිං ම‍ට දාගන්ඩ ඔයිට වඩා හොඳ නමක් තියෙනවද?

ඉතිං කිව්වේ මං ගැන නෙවෙයි‍නේ.Original යෝගියා ගැන නේ. මං ගැන කියනවානං …

යෝගියා ට යාළුවෝ නං ගොඩක් නෑ.ටිකක් ඉන්නවා , ගොඩකට හරියන්න – ඒ හොඳටෝ ම ඇති.

ලස්සන දෙයක් දැකලා ඒ ගැන සතුටු වෙන්නත් , ලස්සන සිංදුවක් සංගීතයක් අහල ඒකෙන් හිත නිවාගන්නත් යෝගියා හරි කැමතී.ගෙදර සහ තමන්ගේ කියන අයත් එක්ක ‍ගොඩක් ආදරෙන් ඉන්නත් , ඒ ආදරේ හැමදාම තියාගන්නත් තමයි යෝගියාගේ ප්‍රාර්ථනාව හැමදාමත්. හිතේ සංතෝසේ තියනවනං තව වෙන මොනවද ?

යෝගියාට ගොඩාක් ලොකූ හීනත් තියෙනවා.. මොකටද බොරු කියන්නේ. යෝගියා නං හිතන්නේ ලොකූ පාට පාට හීන තියෙන්න ඕනේ මිනිස්සුන්ට.එතකොට තමයි මිනිස්සු ඉස්සරහට යන්නේ.

යෝගියා සාමාන්‍යයෙන් ‍කොහොමත් කාත් එක්කත් Argue කරන්න යනවා අඩුයි.වැරදිලාවත් තර්ක කරන්න අකමැති දේවල් 3ක් තියෙනවා ප්‍රතිපත්තියක් විදියට.දේශපාලනය ,ආගම , ජාතිය කියන දේවල් තමා ඒ.යොගියා දේශපාලනය කතා කරන්නේ ගෙදරදී තාත්තා එක්ක විතරයි – මොකද අපි දෙන්නම එක පක්ෂෙ නේ 🙂

ඉතිං විස්තරේ නං දිග වැඩී ‍වගේ.ඒකනේ මුලින්ම කිව්වේ , ලොක්කට බ්‍රේක් නෑ කියලා.මේක ලියන්ඩ ගත්තහම තමා මාත් හරියට මං ගැන කල්පනා කලේ.යකෝ පොතක් ලියන්ඩ බැරියැ යොගියා ගැන- විහිළුවක් හො‍ඳේ  🙂

කොහොම හරි යෝගියා කුළුඳුල් ලිපිය ලිව්වා ඕං.

– ජය