යෝගියට ලියන්න වුනු මලී ගේ ලියුම…

යෝගියා ඉතිං ලිව්ව ලියුමක් ...

යෝගියා බොහොම උනන්දුවෙන් පාසල් ගිය එකෙක් නෙමේ නේ කවදාවත්.
ඒ දවස්වල දෙකට පාසල ඇරිලා ගෙදර ආවොත් තුනහමාරවත් වෙනවා. හැබැයි ඉතිං ‍යාළුවොනං කියන්නේ යෝගියා දෙකට පාසල් ඇරිලා ගෙදර ගියොත් අම්මා , තාත්තටත් call කරලා ගමේ මිනිස්සුන්ටත් කියලා , හදිසි අවස්ථාවත් ප්‍රකාශයට පත්කරලා යෝගියව හොයන්ඩ පටං අරං කියලා මොකවත් කරදරයක් ද බලන්ඩ. මොකද හැමදාම උදේ පන්තියේ Register එක ලකුණු කරනකං ඉඳලා 10.00 වෙනකොට යෝගියා මාරු.  ( කොහොමද කියලනං අහන්ඩ එපා.ඇහුවට දැං වැඩක් නෑ .. ඉස්කෝ‍ලේ ව‍ටේ තාප්පේ ආපහු උස්සලා අඩි 12කටත් වැඩී වගේ ). තුනහමාර කියන්නේ පැය පහක් විතර ප්‍රමාදයි .

හැබැයි උසස් පෙළ ලංවෙච්චි කාලේ නං යෝගියා හුඟක් මහන්සිවෙලා පාඩං කළා.තනියෙං නං නෙමේ.යාළු මිත්තරයො රොත්තයි ගෙදර.බහු බුද්ධී විනාසාය ද මොකද්ද කියනවනේ.. චතුර , වරුණ , අංජු , බුද්ධික, නිශාන්ත .. සාක්කුවත් එනව ඉඳල හිටලා …

අම්මා හැමදාම උයනව දහයකට විතර. ගෙදර නිකං දානේ ගෙයක් වගේ. හැබැයි ඉතිං යාළුවොත් තමංගෙ ගෙදර වගේ හැමදේම බලාකියාගෙන හිටියා. හරිම සුන්දර කාලයක්..  ජීවිතේ ‍බලාපොරොත්තු වලින් පිරිච්ච ඒත් වගකීම් ගොඩක් හිතේ නැති , ‍කොහොම හරි පේරා ගිහිං ඉංජිනේරුවෙක් වෙන එක විතරක් හිතේ තිබුන හරිම සුන්දර කාලයක්.(ඒ බලාපොරොත්තුවනං ඉතිං සුං වෙලා ගියා – අපි ෂැලෙයිද අයියා ඕවට  😛  )
ඒ කාලේ ගැන වෙනම සටහනක් ලියන්නං. අද කියන්ඩ යන්නේ ඒක ගැන නෙමේ.

මේ පාඩං කරන කාලේ ඔය කලිං කියපු අංජුවා ගේ අයියා කෙනෙක් හිටියා පේරාදෙණියේ ඉංජිනියරිං ‍ෆැකල්ටි එකේ.ආදරේට කවුරුත් කිව්වේ ඌට අප්පච්චි කියලා.පාරෙ යන ගමං “මේ මචං, අප්පච්චි මේක පොඩ්ඩක් බලහංකෝ බං” කිව්වම වටේ පිටේ පොරවල් මූන ලන්ත්‍රාස් කරගෙන බලනව කව්ද බොල ‍අප්පච්චිට අඩෝ කියන පුතයා කියලා. මිනිහා ඉතිං හුදී ජන හිතසුව පිණිස හැම සෙනසුරාදම ඇවිත් අපිට Maths කියල දෙනවා – පිනට.

කොහොම හරි මිනිහ හැමදාම නුවර ඉඳං ඇවිල්ලා ගම්පහ Railway Station එකෙං බැහැලා යෝගියට call එකක් දෙනවා. ඉතිං පහසුකම් සලසන්නා වශයෙන් ඒ කාලේ යෝගියට තිබුනු පරණ Mate කට්ට පැදගෙන යෝගියා යනව මේකව කුදලං එන්ට.-වැරදුනා, කැන්දං එන්ට.
ඉතිං දවසද්දා මේකා පුරුදු පරිදි ගම්පහට ඇවිල්ලා යෝගියට call එකක් දීලා.මුගේ කරුමෙට ද මගේ කරුමෙටද නැත්තං අපේ තාත්ත‍ගේ කරුමෙටද දන්නෑ ඒක අපිට ඇහුන් නෑ.තුං හතරවෙනි පාර ඔන්න ට්‍රයි කරල කොහොම හරි ගත්ත කියමුකෝ.
Answer කලේ යෝගියා නෙමේ තාත්තා.

මූ ගත්තු ගමං කියපි , “ඈ බොල බල්ලෝ(සමාවෙන්න – ඒක තමා ඇත්තම වචනේ ඌ පාවිච්චි කරපු ).. උඹ මැරිලද ‍‍යකෝ හිටියේ.Phone එක වදිනව ඇහුන් නැද්ද කියලා ” කියලා. මළා නේද ? තාත්තා ඉතිං යෝගියගේ ම තාත්ත නේ. ගානක් නැතුව අහපි “ඇයි මචං මොකද වුනේ කියලා”. සින්ඩියට පොඩි ළමයිත් එන හින්දා මිනිහා අපේ තාත්තට දීපු පිළිතුර මේකේ මං දාන්නේ නෑ.
ඊළඟට මූ කියනවා , “මාව එක්කං යන්ඩ වරෙං . මං රේල් ගේට්ටුව ළඟ ඉන්නවා” කියලා. තාත්තටත් නිකං කට තියාගෙන ඉන්ඩ බෑනේ , එකක් අහගත්ත මදිවෙලා. අහනවා “මොකද්ද බං ඒ ගේට්ටුව ” කියලා. අරූ මොනවද සංස්කෘත ශ්ලෝක වගයක් කිව්ව අර ඩැනී බීපුවාම කියන ජාතියෙනුත් කලවමට දාලා. පස්සේ කියනව “අර කෝච්චිය යනකොට වහන ‍තඩි පොල්ල යකෝ ” කියලා.

මං මිනිහව ගෙදරට එක්කං එනකං කිව්වේ නෑ කතාකළේ මං නෙමේ කියලා.ඉතිරිය හිතාගන්‍ටකෝ. දැං විනාඩියකට කලිං තමං පරම්පරාව ම අමතලා බැනපු යාළුවගේ තාත්ත ඉස්සරහ හිටං ඉන්න මෝඩ මූනක් දාගත්තු ,ලොකු කන්නාඩි දාපු එකෙක් ..

මිනිහා දවසක් අපේ ලයිට් බිල ගේන මනුස්සයා දැකලා කිව්වා මචං බලපං කෝ. මට කවදාවත් කැම්පස් එකට ලියුමක් එන්නෑ නේ කියලා.
පව්නේ . කාගෙ වුනත් දරුවෙක් නේ . යෝගියා ගේ හිත උනුවෙලා ගියා නිකං අර දවසක් උණුකර නිවාගත් ජලය පානය කරන්න කියලා ලිපේ තියපු ප්ලාස්ටික් කෝප්පේ වගේ…
ඉතිං යෝගියා ලිව්ව ලියුමක්. හෝ ගාලා. ලියලා තැපැල් කළා අප්පච්චිගේ කැම්පස් ජීවිතේ ලැබුන පළමු හා අවසාන ලිපිය.
කියෝල ම බලන්ටකෝ…

2001.03.25

හිතවත් දීපාල් අයියා වෙත ආදරයෙන් ලියමි,

ඉතිං අයියේ , ඔයාගේ තොරතුරු කොහොමද ? එදා ඔයා අපේගෙදර ආපු දොහේ ඉඳං අපේ අප්පුච්චා මයෙත් එක්ක වැඩි මනාපයක් නෑ වාගේ මයෙ හිතේ.මූන දීලා කතාකොරන්නෙත් නෑ.මටනං ඔව්වයේ උලව්වක් නෑ ඉතිං. මයේ මොකොද? ඒ උනත් ඔයා ආයෙත් වතාවක් අපේ දිහා එන්ට හොඳ ද ?හැබැයි එදා වගේ කොස් දෙල් වැල මළු කද බැඳං එන්ට ඕන්නෑ. අපේ මුත්තම්ම ට නං ඔයැයි ව හොඳට හිතට අල්ල ලා ගෙහුං වාගේ. ඇස් හතරක් ඉතර තිඋනට අගේ ඇති කොලු පරානයක් කියලා අපේ අම්මණ්ඩි ( උන්දැගේ දුව ) එක්ක කියලා තියෙනවා.

අප්පුච්චාට ඔයා තව ටික දොහකිං ඉංජිනේරුවෙක් වෙනවා කියපුහාම උන්දැ අහපි ඒ මොකාද බොල ඒ කියලා.මං කිඋවා ලොකු ලොකු පාලං එහෙම හදන්නේ ඔය වගේ උන්නැහැල තමයි කියලා. ඒ විඩේ අප්පුච්චා කියනවා ඒ හුට්ටප්පරයා ට පාලමක් තියා වැටකඩුල්ලක් වත් බැඳගන්ට ඇහැක් ද කියලා.

අර වෙලේ මාමලයේ ලොකු කොලුවා අඹං ග‍‍ඟේ පාලම හදද්දී ගෙහුං අත්වැඩ දුන්නෙ , උඹේ බකමූනු පැටියට වඩා ඌ කොච්චර පාලං හදල ඇද්ද කියලා උන්දැ කිඋවා. පහල ඇලේ ඒ දණ්ඩත් කැඩිලා තිබිලා පොල් ලී කොටං දාලා හැදුවේ ඌ නේ , තොට ඕන්නං ඌව බැඳගං කියලා .ඒකා ඔයාට වැඩිය පෙනුමයි තමයි. ඒ උනාට ඒකගෙ මහ සෙප්පඩ විගඩං වැඩී කියලා ගමේ ගැටිස්සියො ඌව මායිං කොරන්නෑ.

කොහොමිං කොහොමිං හරි රෑ බෝ වෙලා. අර අපේ වත්තේ බැ ඳලා හිටිය නාකි එළදෙන මඩුවෙ බඳින්ඩ වෙලාවත් හරි. අපේ අම්මා කිව්වා උඹ ඒ කොල්ල එක්ක පැනල යන්ඩ එහෙම එපා , අපේ මූනෙ දැලි ගෑවෙයි කියලා. මම අප්පුච්චව කැමති කොර ගන්නං , අර නාකි එළදෙන මැරෙන්ඩ කලිං ඒකිව දෑවැද්දට දීලා උඹව පිටත් කොරඤ්ඤං කියලා.
ඔය අපේ අම්මත් අලි දෙඤ්ඤං කොටි දෙඤ්ඤං කිය කියා නෙව හැමදාම ඉන්නේ. ඒ නිසා ඔයාට අර නාකි වැස්සිව වත් හම්බුවෙයි ද දන්නෑ. ඒත් කමක් නෑ කියලා ඔයා කියයි වැස්සියො දෙන්නෙක් මට ඕනෙ නෑ කියලා.

මේක දැක්ක ගමං ම හැරෙන තැපෑලෙං මට ලියුං කරදහියක් එවන්ඩ. මං ඒක දකිනකං කොයිතරං පපුවේ ගින්දරකින්ද ඉන්නේ. රෑ වෙලා විස්ස විජ්ජාලේ උනත් ඇවිදින්ඩ යන්ඩ නාකයි.විසකූරු සත්තු නැතත් මොක්කු මොක්කු ඉන්නවද කවුද දන්නේ.

ඔයා‍ට වැස්ස වලාහක දෙයියංගෙ ම පිහිටයි.

මෙයට,

ආදරණීය මලී..

ප:ලි – ඔයාට විස්ස විජ්ජාලෙට කඋරුත් ලියුං එවන්නේ නෑ කියලා දුකෙං හිටිය නේ ද ? දැං මං ලියුං ලිය ලියා තැපැල් ‍කොරඤ්ඤං.

නම තියෙන තැන ‍ටිපෙක්ස් කරලා මේක උංගෙ ෆැකල්ටි එකේ මොකද්ද බිත්ති සඟරාවක ද කොහෙද දාලා තිබ්බා කියලා ආරංචි උනා පස්සේ …
අත් අකුරු වෙනස් කරලා ලියපු මේ ලියුම යෝගියා ආපහු ඉල්ලගත්තා. තාම තියෙනවා පරිස්සමිං යෝගියගේ පරණ එකතුවේ…

නිමේෂයක කතාවක්…

සඳ එළිය චමත්කාරය. බොහෝ චමත්කාරය. අප නැවතුනේ වෙල්යාය මැදින් දිවෙනා ප්‍රධාන මාර්ගය පසෙකට වී තුබූ විසල් ගස් සෙවනේ ය.සඳ එළිය , අප්‍රමාණ කෙත් යායට ගැඹුරක් එක් කර ඇත.පෝය ගෙවී දිනකට හෝ දෙකකට පසු දිනක් වුයෙන් සඳ එළියෙන් හාත්පස ආලෝකවත් වේ.මීදුම් ‍රැල්ලක් මෘදුව හාත්පස වෙළාගන්නේ මඳ අඳුරේ සුළඟින් සෙළවෙන දුර්මුඛ සෙවනැලි බොඳකර දමමිනි. වෙල් යාය බො‍හෝ විශාල වුවද ඒ එකම යායක් ලෙසින් දිස් නොවේ. තැනින් තැන නැඟුනු හුදකලා ගස් දෑත් ඉහලට ඔසවා සිටින්නේ , යොගියා කුඩාකල පාසලේදී දුටු දුඹුරු නිළඇඳුම ඇඳගත් මුරකරුවා සිහිගන්වයි.කෙතරම් අයිතිවාසිකම් පෑවද සඳ එළියේ තේජස වෙල කෙළවරේ ඈත ගස් පේලිය අසලදී රාත්‍රියේ සදාතනික උරුමය වූ කළුවරින් යටපත් වෙයි.

අපේ සෑම සති අන්තයකම ගෙදර බලා දුවන්නේ ඉස්පාසුවක් නැතිවය. හැමටම වඩා ඒ දින දෙකේ දී අනිත් අයගෙන් අ‍පි දෙදෙනාව සොරාගැනීමට බලා සිටින කුඩා සාමාජිකයා නිසාවෙනි.ඔබ කලින් යෝගියාගේ සටහනට ගොඩවී ඇතිනම් මේ කියන්නේ ඔබ හදුනන original යෝගියා ගැනය. සෙනසුරාදා ඉරිදාට නම් ඔහුට බාප්පා සහ චූටි පමණකි. පරිසරයට, සතා සීපාවාට අසීමිතව ආදරය කරන ඔහුට එළුවන් හා හරක් පට්ටි ඇති ගමේ නිවෙස් වල අපට වඩා දැන හඳුනන‍්නෝ සිටිති.

“මෙයා එනවා සීයත් එක්ක උදේට” එළුවන් බලාගන්නා අයක් කියයි. හිත පිරී යන්නේ දරුවා බැමි ගසා වෙන් කර ඇති ලෝකයෙන් පිටමන් වී ජීවිතය සොයා යන්නට තවත් විදියක් සොයාගෙන තිබේන නිසාය. දවස මොනවා කළද රෑ බෝ වන විට ඔහුට හඳ හාමි ද තරු ද බලන්නට ඕනෑ වෙයි. “බාප්පේ , කෝ තරු …” ඊට බලාපොරොත්තු වන්නේ වාචික පිළිතුරක් නොවේ.
මේ ඇවිත් ඉන්නේ ඒ පිළිතුර දීමටය.

මඳ සීතලක් සමඟ ගත පිනා ඇදී ආ මෘදු සුළං රැල්ල, ගෙන්දගම් පොළොවේ උණුසුමෙන් හැකිලී තුබූ අපේ පෙනහළු සිසාරා මහත් ආශ්වාදයක් රැගෙන ගලා ගියේය.සුළං රැළි , එකක් පසු තව එකක්. සුළඟ මේ රැගෙන එන්නේ ජීවිතයයි. කර්කශ වූ , කාර්යබහුල වූ , විඩාවෙන් හෙම්බත් වූ හෝරාවල්වලට මුවා වී ගෙවී යන අපේ ජීවිතයයි.

ගොයම් කපා ඇත. ඉතිරි වූ ඉපනැලි වලින් නැවුම් පිදුරු සුවඳ හමා එයි.

මගේ දැහැන බිඳිමින් එක්වරම අප පසුකරමින් ඇදී යන වාහනයකි. පව් – මිනිස්සු. මෙච්චර ලස්සන ලෝකයක් දාලා ජීවිතේ හොයන්න යන මිනිස්සු. මට ඇතිවූයේ දුකක් ද , පරාජිත බවක්දැයි සිතාගත හැකි නොවේ.අද මේ මොහොත නොවේ නම් , මාද ඉන්නේ ඔවුන්ගේ ගොඩේ ය.

ඉන්පසු එළඹෙන්නේ දෙකන් බිහිරිකරවන නිශ්ශබ්දතාවය යි.කෙමෙන් රැහැයියන් හා අනිකුත් කුඩා සතුන්ගේ කිරි කිරි හඬ නෑසී යන්නට පටන් ගනී.විශ්වයේ කවදාක හෝ තිබූ අන්තිම හඬත් සඳ රැසින් මැවුනු මේ චමත්කාර දසුන හමු‍වේ මඳින් මඳ අඩුවීගෙන ගොස් නැත්තටම නැති වෙයි.ගැඹුරු සමාධියකට පත්වූවාක් මෙන් නිදහස් සැහැල්ලු හැඟීමකට ඔබ පත්වෙයි. ඔබ කවමදාක හෝ එවන් නිශ්ශබ්දතාවයක් විඳ ඇතුවා විය යුතුය.පොඩිඑකා සිටින්නේ එය විඳීමට තරම් මේරූ වයසක නොවේ.මේ වෙලාවෙදී ඉදිරිපත් වියයුතු වන අනිවාර්ය ඉල්ලීම එවෙ‍ලේ ඉදිරිපත් විය.

“චූටී , තරු සිංදු කියන්ඩ …” උගේ අම්මාට ද අත්තම්මාටද ඈ චූටී ය. ඉදින් , තමා එය වෙනස් කළ යුතු නැතැයි පොඩි‍එකා සිතයි.

ඈ මේ කුරුළු පැටියා තුරුළුකරන් තරු සිංදුව ගයන්නට පටන් ගත්තාය.

අහස් ගැබේ තරු කැට ගානේ,
පොළෝ තලේ වැලි කැට ගානේ
නිල් සයුරේ රළ පෙළ ගානේ
ආදරෙයි මං ආදරෙයි..

හැමදාම වාගේ සතිඅන්තයට දරුවා නිදන්නේ මේ ගීයත් සමඟිනි.හඳ හාමිත් නැති තරුත් නැති නපුරු රාත්‍රියක අද වගේම අපිත් සමඟ ඔහුගේ දවසේ නිඳන චාරිකාව යන්නට පැමිණ උන්නේය. අහස මුලුමනිනිම කළුවර වී තිබූ අතර සඳ තරු කිසිවෙකුත් අහසේ දක්නට නොවීය.
“පුතාට තරු ගැන මං සිංදුවක් කියන්නං…”කරන්නට දෙයක් නොවූ තැන ඈ ගැයුවාය. ඒ ඇගේ මතකයට ආ එකම තරු සම්බන්ධවූ ගීතයයි.
දරුවාගේ සිතේ චමත්කාර තරු රෑනක් මවන්නට ඒ ගීයට හැකිවී තිබිනි.සැබෑ අහසේ නොදුටු අපූර්වත්වය මේ කුඩා ජීවියා තම සිහින ලෝකයේ දකින්නට ඇත.එදා සිට අද දක්වා හැම සති අන්ත දිනකම දරුවාගේ නින්දට නිල අනුග්‍රහය දක්වන්නේ මේ ගීතයයි.

මට මේ වැල්වටාරම් ගොඩත් සමඟ කියන්නට උවමනා වූයේ එකම දෙයකි.අපේ පරපුරද යම් තාක් දුරට හෝ පරිසරය හා බැඳීමට තරම් වාසනාවන්ත වූයෙමු.ඇළක දොලක නෑවෙමු. වෙල් නියරවල් ගානේ සරුංගල් ඇදන් දිව්වෙමු. අපෙන් පසු පරපුර හැදෙන්නේ කෘතිම පරිසරයක් තුළය.කෑමේ බීමේ ඉඳන් ජීවිතේ හැම දෙයක්ම රටින් ගෙනෙන කෘත්‍රිම දේවල් ය. උන්ට ද අපි ලැබූ පරිසරය ලැබිය යුත්තේය. එළු පැටියෙක් දෝතට ගෙන හුරතල් කරන්නට, ආදරේ කරන්නට අවස්ථාවක් නොමැතිනම් අසල්වැසියාට ‍ප්‍රේම කරන්නට උගන්වන්නේ ඉන්ටර්නෙට් එකෙන් දැයි අසන්නට සිතේ.

ඈ මගේ පිටට සෙමෙන් තට්ටුකළාය.ඒ සංඥාව දැන් අත්දැකීමෙන් දනිමි. පොඩිඑකා තමාගේ අහිංසක සිහින ලෝකයට ඇතුල් වන්නට ඇත්තේ අසීමිත ආනන්දයකින් බවනම් සහතිකය.

මම ඉදිරිපස ලාම්පු දල්වා නැවතත් සෙමෙන් මාර්ගයට අවතීර්න වීමි.