නිමේෂයක කතාවක්…

සඳ එළිය චමත්කාරය. බොහෝ චමත්කාරය. අප නැවතුනේ වෙල්යාය මැදින් දිවෙනා ප්‍රධාන මාර්ගය පසෙකට වී තුබූ විසල් ගස් සෙවනේ ය.සඳ එළිය , අප්‍රමාණ කෙත් යායට ගැඹුරක් එක් කර ඇත.පෝය ගෙවී දිනකට හෝ දෙකකට පසු දිනක් වුයෙන් සඳ එළියෙන් හාත්පස ආලෝකවත් වේ.මීදුම් ‍රැල්ලක් මෘදුව හාත්පස වෙළාගන්නේ මඳ අඳුරේ සුළඟින් සෙළවෙන දුර්මුඛ සෙවනැලි බොඳකර දමමිනි. වෙල් යාය බො‍හෝ විශාල වුවද ඒ එකම යායක් ලෙසින් දිස් නොවේ. තැනින් තැන නැඟුනු හුදකලා ගස් දෑත් ඉහලට ඔසවා සිටින්නේ , යොගියා කුඩාකල පාසලේදී දුටු දුඹුරු නිළඇඳුම ඇඳගත් මුරකරුවා සිහිගන්වයි.කෙතරම් අයිතිවාසිකම් පෑවද සඳ එළියේ තේජස වෙල කෙළවරේ ඈත ගස් පේලිය අසලදී රාත්‍රියේ සදාතනික උරුමය වූ කළුවරින් යටපත් වෙයි.

අපේ සෑම සති අන්තයකම ගෙදර බලා දුවන්නේ ඉස්පාසුවක් නැතිවය. හැමටම වඩා ඒ දින දෙකේ දී අනිත් අයගෙන් අ‍පි දෙදෙනාව සොරාගැනීමට බලා සිටින කුඩා සාමාජිකයා නිසාවෙනි.ඔබ කලින් යෝගියාගේ සටහනට ගොඩවී ඇතිනම් මේ කියන්නේ ඔබ හදුනන original යෝගියා ගැනය. සෙනසුරාදා ඉරිදාට නම් ඔහුට බාප්පා සහ චූටි පමණකි. පරිසරයට, සතා සීපාවාට අසීමිතව ආදරය කරන ඔහුට එළුවන් හා හරක් පට්ටි ඇති ගමේ නිවෙස් වල අපට වඩා දැන හඳුනන‍්නෝ සිටිති.

“මෙයා එනවා සීයත් එක්ක උදේට” එළුවන් බලාගන්නා අයක් කියයි. හිත පිරී යන්නේ දරුවා බැමි ගසා වෙන් කර ඇති ලෝකයෙන් පිටමන් වී ජීවිතය සොයා යන්නට තවත් විදියක් සොයාගෙන තිබේන නිසාය. දවස මොනවා කළද රෑ බෝ වන විට ඔහුට හඳ හාමි ද තරු ද බලන්නට ඕනෑ වෙයි. “බාප්පේ , කෝ තරු …” ඊට බලාපොරොත්තු වන්නේ වාචික පිළිතුරක් නොවේ.
මේ ඇවිත් ඉන්නේ ඒ පිළිතුර දීමටය.

මඳ සීතලක් සමඟ ගත පිනා ඇදී ආ මෘදු සුළං රැල්ල, ගෙන්දගම් පොළොවේ උණුසුමෙන් හැකිලී තුබූ අපේ පෙනහළු සිසාරා මහත් ආශ්වාදයක් රැගෙන ගලා ගියේය.සුළං රැළි , එකක් පසු තව එකක්. සුළඟ මේ රැගෙන එන්නේ ජීවිතයයි. කර්කශ වූ , කාර්යබහුල වූ , විඩාවෙන් හෙම්බත් වූ හෝරාවල්වලට මුවා වී ගෙවී යන අපේ ජීවිතයයි.

ගොයම් කපා ඇත. ඉතිරි වූ ඉපනැලි වලින් නැවුම් පිදුරු සුවඳ හමා එයි.

මගේ දැහැන බිඳිමින් එක්වරම අප පසුකරමින් ඇදී යන වාහනයකි. පව් – මිනිස්සු. මෙච්චර ලස්සන ලෝකයක් දාලා ජීවිතේ හොයන්න යන මිනිස්සු. මට ඇතිවූයේ දුකක් ද , පරාජිත බවක්දැයි සිතාගත හැකි නොවේ.අද මේ මොහොත නොවේ නම් , මාද ඉන්නේ ඔවුන්ගේ ගොඩේ ය.

ඉන්පසු එළඹෙන්නේ දෙකන් බිහිරිකරවන නිශ්ශබ්දතාවය යි.කෙමෙන් රැහැයියන් හා අනිකුත් කුඩා සතුන්ගේ කිරි කිරි හඬ නෑසී යන්නට පටන් ගනී.විශ්වයේ කවදාක හෝ තිබූ අන්තිම හඬත් සඳ රැසින් මැවුනු මේ චමත්කාර දසුන හමු‍වේ මඳින් මඳ අඩුවීගෙන ගොස් නැත්තටම නැති වෙයි.ගැඹුරු සමාධියකට පත්වූවාක් මෙන් නිදහස් සැහැල්ලු හැඟීමකට ඔබ පත්වෙයි. ඔබ කවමදාක හෝ එවන් නිශ්ශබ්දතාවයක් විඳ ඇතුවා විය යුතුය.පොඩිඑකා සිටින්නේ එය විඳීමට තරම් මේරූ වයසක නොවේ.මේ වෙලාවෙදී ඉදිරිපත් වියයුතු වන අනිවාර්ය ඉල්ලීම එවෙ‍ලේ ඉදිරිපත් විය.

“චූටී , තරු සිංදු කියන්ඩ …” උගේ අම්මාට ද අත්තම්මාටද ඈ චූටී ය. ඉදින් , තමා එය වෙනස් කළ යුතු නැතැයි පොඩි‍එකා සිතයි.

ඈ මේ කුරුළු පැටියා තුරුළුකරන් තරු සිංදුව ගයන්නට පටන් ගත්තාය.

අහස් ගැබේ තරු කැට ගානේ,
පොළෝ තලේ වැලි කැට ගානේ
නිල් සයුරේ රළ පෙළ ගානේ
ආදරෙයි මං ආදරෙයි..

හැමදාම වාගේ සතිඅන්තයට දරුවා නිදන්නේ මේ ගීයත් සමඟිනි.හඳ හාමිත් නැති තරුත් නැති නපුරු රාත්‍රියක අද වගේම අපිත් සමඟ ඔහුගේ දවසේ නිඳන චාරිකාව යන්නට පැමිණ උන්නේය. අහස මුලුමනිනිම කළුවර වී තිබූ අතර සඳ තරු කිසිවෙකුත් අහසේ දක්නට නොවීය.
“පුතාට තරු ගැන මං සිංදුවක් කියන්නං…”කරන්නට දෙයක් නොවූ තැන ඈ ගැයුවාය. ඒ ඇගේ මතකයට ආ එකම තරු සම්බන්ධවූ ගීතයයි.
දරුවාගේ සිතේ චමත්කාර තරු රෑනක් මවන්නට ඒ ගීයට හැකිවී තිබිනි.සැබෑ අහසේ නොදුටු අපූර්වත්වය මේ කුඩා ජීවියා තම සිහින ලෝකයේ දකින්නට ඇත.එදා සිට අද දක්වා හැම සති අන්ත දිනකම දරුවාගේ නින්දට නිල අනුග්‍රහය දක්වන්නේ මේ ගීතයයි.

මට මේ වැල්වටාරම් ගොඩත් සමඟ කියන්නට උවමනා වූයේ එකම දෙයකි.අපේ පරපුරද යම් තාක් දුරට හෝ පරිසරය හා බැඳීමට තරම් වාසනාවන්ත වූයෙමු.ඇළක දොලක නෑවෙමු. වෙල් නියරවල් ගානේ සරුංගල් ඇදන් දිව්වෙමු. අපෙන් පසු පරපුර හැදෙන්නේ කෘතිම පරිසරයක් තුළය.කෑමේ බීමේ ඉඳන් ජීවිතේ හැම දෙයක්ම රටින් ගෙනෙන කෘත්‍රිම දේවල් ය. උන්ට ද අපි ලැබූ පරිසරය ලැබිය යුත්තේය. එළු පැටියෙක් දෝතට ගෙන හුරතල් කරන්නට, ආදරේ කරන්නට අවස්ථාවක් නොමැතිනම් අසල්වැසියාට ‍ප්‍රේම කරන්නට උගන්වන්නේ ඉන්ටර්නෙට් එකෙන් දැයි අසන්නට සිතේ.

ඈ මගේ පිටට සෙමෙන් තට්ටුකළාය.ඒ සංඥාව දැන් අත්දැකීමෙන් දනිමි. පොඩිඑකා තමාගේ අහිංසක සිහින ලෝකයට ඇතුල් වන්නට ඇත්තේ අසීමිත ආනන්දයකින් බවනම් සහතිකය.

මම ඉදිරිපස ලාම්පු දල්වා නැවතත් සෙමෙන් මාර්ගයට අවතීර්න වීමි.

Advertisements

ප්‍රතිචාර 33

  1. Raven said,

    මාර්තු 8, 2010 at 8:23 පෙ.ව.

    වාසනාවන්තයි පොඩි එකා.

    මගෙත් කුඩා අවදියේදී ගහ කොල සතා සීපාවා එක්ක ගැටෙන්න යම් තාක් හෝ වාසනාවක් මට ලැබුණ. උදේ ඉදන් හවස් වෙනකම් ඇවිදලා දාඩිය මඩ නාගෙන සෙල්ලම් කල එක තමයි කලේ.
    දැන් ඊට දශකයක් දෙකකට පස්සෙ මගේ ඥාති සොයුරන්ගෙ දරුවො දැක්කම මම දකින්නෙ ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයක්.
    තාප්ප ගේට්ටු වලින් වට වෙච්ච ගෙවල් අස්සට වෙලා ඉන්ටනෙට් එකෙන් කුරුල්ලන්ගෙ නම් හොයන කාලයක් දැන් උදාවෙලා තියෙන්නෙ.

    • යෝගී said,

      මාර්තු 8, 2010 at 8:36 පෙ.ව.

      සහතික ඇත්ත Raven. මමත් කියන්න උත්සහ කරන්නේ ඔය ටිකම තමා. අපේ ළමයි කියන්නේ ඉස්සරහට අපේ රට. මේ ක්‍රමය වෙනස් නොවී ලෝකයක් දිනන්නට යන්නේ කොහොමද ?
      ස්තුතී ගොඩවැදිලා යන්න ආවට.

  2. මාර්තු 8, 2010 at 9:11 පෙ.ව.

    මටත් ඔය වගේ ලස්සන පොඩි කාලයක් තිබ්බ. ඒත් දැන්, වෙල් යාය ගොඩ කරල. රබර් වතු, දං කැලේ වෙන්දේසි කරල. ඇල හාරල කෙලින් කරල. ඒ අයිනෙනෙ මාතර කොලඹ අධිවේගී මාර්ගය යනව. ඒ ලස්සන සම්පූර්ණයෙන්ම ඉවරයි. ගෙවල් වලට හොරෙන් හිහින් ඇලේ පැන්න කාලේ අපෙන් පස්සෙ එන පරම්පරාවට නැතිවෙයි.

    • යෝගී said,

      මාර්තු 8, 2010 at 9:23 පෙ.ව.

      ඒක ඇත්ත සහෝ.. ලංකාව ටිකෙන් ‍ටික දියුණු වෙනවලු. ඒක හොඳා තමයි. ඒත් අපේ පරිසරයත් රැකගෙනම ඒක වෙනවනං කොච්චර හොඳ ද ?
      ස්තුතී ප්‍රතිචාරයට මිත්‍රයා..

  3. මාර්තු 8, 2010 at 11:00 පෙ.ව.

    මචං, උඹ පුන්චි යෝගී ව විතරක් නෙමෙයි අපිවත් අමුතුම සුන්දර චමත්කාරජනක ලෝකෙකට අරගෙන ගියා මේ ලිපියෙන්.

    උඹේ ලිවීමේ හැකියාවනම් විශිශ්ඨයි මචං. සිරාවට.

    ඇත්තෙන්ම පුංචි කාලේ ඉඳන් ප්‍රේමය කියන දේ නොවිඳපු අයගේ (වැඩි ප්‍රතිශතයක් නෙමෙයි) කර්කෂ රළු ගති අපි අත්විඳිමින් ඉන්න කාලයක් මචන් මේක. ඉතිං ඊලඟ පරම්පරාවේ හැමෝම එවැනි කර්කෂ අය වුනොත් . . අනේ . . .!!!!

    ඔහොම දිගටම අපේ හිත් චමත්කාරයෙන් පුරවාපන් යෝගී. උඹට ජය.

  4. මාර්තු 8, 2010 at 11:43 පෙ.ව.

    ඇත්තටම පොඩි එකා වාසනාවන්තයි…. ලේන්නුත් එක්ක කුරුල්ලොත් එක්ක කතා කරපු… ගස් උඩ නැගගෙන කජු පුහුලන්, දං ගෙඩි, වෙරළු, මා දං කාපු, මගෙ ළමා කාලෙ මතක් වුනා… දැන් පොඩි එවුවොන්ට ඒ වාසනාව නැති වෙලා ගිහින්… ශිෂ්‍යත්ව පන්ති දුවනව 2 වසරෙ ඉඳන්ම.. සුන්දර සටහනක් යෝගි….

    • යෝගී said,

      මාර්තු 8, 2010 at 12:17 ප.ව.

      ඒක ඇත්ත විෂ්මි. මේ අපිවත් එකතුවෙලා ඔය දිවිල්ල නතර කරවන්න ක්‍රමයක් හදාහන්න ඕනි. නැත්තං අර දුකා කිව්ව වගේ ඊළඟ පරම්පරාව බොහොම කර්කෂ මිනිස්සු බිහිකරන්නක් වෙයි.
      දැනටමත් ඒකේ සළකුණු අපිට නොපෙනෙනවා නෙමෙයි නේ !
      ස්තුති ඔබටත්…

  5. මාර්තු 8, 2010 at 12:15 ප.ව.

    මචං යෝගී…උඹ ඔය දැන් කරන රස්සාව අතෑරලා දාපං… උඹට ඒකට වඩා හොඳටම ගැලපෙන්නේ ලියන වැඩේ…ඉඳහිට බ්ලොග් ලියන කෙනෙක් මෙහෙම සවේදීව ලියන්නේ කොහොමද අප්පා… මම පුරුද්දක් විදිහට උඹේ බ්ලොග් එක ඔ‍ෆිස් එකේදී කියවන්නේ නෑ… අද කියෙව්වට (උඹ දන්නවා හේතුව..). උඹ Psycho Therapy ඉගෙනගෙන තියනවද..? මම දැන් උඹේ ගෙදර, අවට, තරු පිරිවරාගත් ‍රැය, දරුවා දෝතින් ගත් ඇය.. සිහින් ස්වරය, ඔක්කොම චිත්‍රයට නගලා ඉවරයි… පහන්දල්වලා හෙමින් පාරට ගත්තු වාහනය පවා…
    උඹට වෙලාවකට හිතෙනවා ඇති මම හරි බොලඳ පොරක් කියලා… කමක් නෑ… මට මගේ හොඳ යාලුවෙක් මගේ මේ ගතිය පෙන්නලා මට කිව්වා… උඹ ඔහොම සංවේදී වෙලා සංසාරය දික් කරගන්නවා හොඳටම කියලා… මං මක් කරන්නද බං…

    • යෝගී said,

      මාර්තු 8, 2010 at 12:33 ප.ව.

      ආදරණීය මිත්‍රයා …
      ඔය බොළඳ කියන වචනේ තියෙන්නේ සංවේදී කියන වචනෙට ගොඩාක් දුරින් තිසා.කාලයක් මාත් හිතුවේ එහෙමයි මං ගැනත්. ඒත් මිනිහෙකුගේ පපුව ඇතුළේ තියෙන සංවේදිකම, ආදරේ බොළඳකමක් කියල මං හිතන්නෑ කවදාවත් දැං.
      මම මේ සටහන මෙච්චර දිගට ලියන්නේ නෑ , ඒ වෙලාවේ මගේ අතේ කැමරාව තිබුනනං තිසා. ඒත් මට ඕනෙඋනේ පුළුවං තරං ඒ පින්තූරේ නැති අඩුව පිරිමහන්ඩ.ඇත්තටම ඒ ලස්සන රාත්‍රිය තිබුනා තිසා.මේක හිතළුවක් නෙවෙසි.ඇත්තම කතාවක්.ඇත්තම දවසක්.
      උඹට ලංකාවට ආපු දවසක අපිට හම්බෙන්න වාසනාව තිබ්බොත් අනිවා අපි යං එතෙන්ට.ඉස්සර අපි පොඩි බුලත් විටක් එහෙම අරගෙන ඉර බැහැලා යනකං ඉස්සරහ තියෙන වෙල් යාය දිහා බලං හිටපු කණ්ඩිය තාම තියෙනවා 🙂 …
      ස්තුතී තිසා, ලොකු ධෛර්‍ය්‍යයක් හිතට.

  6. anthr6x said,

    මාර්තු 8, 2010 at 2:39 ප.ව.

    උබ ඉන්නෙ වැරදි field එකේ මචං. උබයි දුකායි දෙන්නම ඉපදිලා තියෙන්නෙ කියවපුවම හතරැස් වෙන ඒවා ලියන නැකතක

    • යෝගී said,

      මාර්තු 8, 2010 at 4:53 ප.ව.

      අනේ ඇන්තො මේ … උඹ තාම හතරැස් වෙලාද ඉන්නේ ?
      හිටපංකො ඊළග සැරේ ලියන්නං රවුං වෙලා යන එකක්. අද හතරැස් වෙච්චි එකටත් හරියන්ඩ..
      ස්තුතී මචෝ ඇවිත් යන්න ආවට.

  7. nimanthi said,

    මාර්තු 8, 2010 at 5:01 ප.ව.

    අනේ ඔව්..යෝගිත් හරි වාසනාවන්තයි..මේවගේ පරිසරයක ජීවත් වෙන්න ලැබුනට..
    මමත් හැම වෙලේම කල්පනා කරන දෙයක් තමා මේ වගේ පරිසරයක් දරුවන්ට දෙන්නේ කොහොමද කියන එක…පන්ති නැති උනත්..මම ඉන්න පරිසරය ඒකට ඉඩ සලසන්නේ හරිම අඩුවෙන්.
    ඊලඟ දවසේ ‘නිල් අහස් තලේ’ සිංදුව කියල දෙන්න..

    • යෝගී said,

      මාර්තු 8, 2010 at 5:22 ප.ව.

      ඔව්. එයා ගොඩක් වාසනාවන්තයි. ගොඩක් වෙලාවට එයාගේ හිත රිදෙන්නේ නැති දේවල් විතරයි අපි කරන්නේ. එකම එක දවසක් මුහුද බලන්න මීගමුවේ එක්කං ගිහිං එනකොට පාරට පනින්න ගිහිං මම සැරකළා. මගේ දිහා බලන්නැතුව තරහවෙලා හිටියා නේ මිනිහා .ඊට පස්සේ කවම කවරදාකවත් මම එයා‍ට සැරකළේ නෑ. කරන්නෙත් නෑ.
      ‘ නිල් අහස් තලේ ‘ කියන්නෙත් එයාගෙ සිංදුවක් තමයි. හැබැයි ඒක කියන්න ඕනේ එයාගේ අම්මා විතරයි. තරූ බලන්න යනකොට චූටි ට වෙන සිංදු කියන්නත් තහනං. ඔය පිංතූරෙ පූසා වගේ හිටියට මිනිහා හරිම නීති කාරයා.
      මං මේ බයේ ඉන්නේ චරිතා ප්‍රියදර්ශනී ඔය තරූ සිංදුව කියනව අහුඋනොත් එහෙම චරිතටත් සිංදුකියන එක තහනං කරයිද කියලා.. ඒක කියන්න අවසර තියෙන්නේ චූටි ට විතරයි නේ. ඒ තරමට මිනිහා!
      බොහොමත්ම ස්තුතී ඔබේ ප්‍රතිචාරයට…

  8. මාර්තු 9, 2010 at 6:48 ප.ව.

    wooow . . ..
    i am desperately expecting that mail macho . .
    cheers

  9. රොයිලි ප්‍රනාන්දු said,

    මාර්තු 10, 2010 at 4:29 පෙ.ව.

    යෝගීයා කියන්නෙත් ලේසි පාසු කෙනෙක් නෙවේ වගේ. ලිපිය ලියලා තියෙනවා පට්ටම විදියට. හැමදාම චැට් එකක් දාන්නේ උඹමද කියලා හිතෙනවා සිරාවටම.

    පෝස්ට් එක ගැන කියනවනම් තාමත් මම වාසනාවන්තයි ගමක සුන්දරත්වය විඳින්න ලැබෙන්න තරම්. නාගරීකරණය වේගන ආවට සම්පූර්ණයෙන්ම සුන්දරත්වය ගමෙන් තුරන් වෙලා නෑ. හැබැයි තව කොයිතරම් දුරකට ඒක පවතියිද කියන එක ගැන නම් මටත් ලොකු සැකයක් තියෙනවා. පිටරටකට ආපුවම ලංකාවේ අගේ තේරෙනවා වගේම තමයි නගරෙක වැඩට යනවා කියලා කියන්නෙත්. කොහොම වුනත් මචෝ ඔයාගේ පෝස්ට් එක සෑහෙන පරණ මතකයන් අවුස්සන්න සමත් වුනා. ඔය දුකා වගේ පෝස්ට් එකක් දාන්න සෑහෙන කාලයක් ගන්නෙ නැතිව ඉක්මනින්ම තව පෝස්ට් එකක් දාහන් මචෝ 🙂 අපි බලන් ඉන්නවා.

    • යෝගී said,

      මාර්තු 10, 2010 at 9:43 පෙ.ව.

      ‍මචං ,
      මෙහෙම ලියන්න මට ශක්තියක් උනේ උඹලා තමයි මුලින්ම. සින්ඩියටවත් ගිහිල්ලා තිබුන් නැති මගේ බ්ලොග් එක පළවෙන් පෝස්ට් එක දාලා දවසක් යනකොට හුඟදෙනෙක් අතරට ගිහිල්ලා තිබුනා. ‍මේ බ්ලොග් කෙරුවාවට අළුතිං ආපු මං අන්ද මන්ද වෙලා බලං හිටියේ.ඒ දීපු ශක්තියෙන් තමයි මේක කොහොම හරි හොඳට ලියනවා කියලා හිතුනේ. උඹටත් , තාම comment එකක් දාන්ඩ බැරුව ජාතක පොත කියෝ කියෝ ඉන්න අනිත් ගෝතයටත් ඒකට මං තාමත් පින් දෙනවා රෝයියෝ…

  10. සාවිත්‍රි said,

    මාර්තු 10, 2010 at 6:42 පෙ.ව.

    ලිපිය අනර්ඝයි!!!!!! සංවේදියි හරිම මිහිරියි අපි‍ත් ඒ අත්දැකීම වින්දා වගේ දැනෙනවා. ඉක්මනට තවත් ලිපි ලියන්න 🙂

    ජීවිතය හොයාගෙන අපිත් දුවන්නන්වාලේ දුවනවා තමයි. ආපහු හැරිලා බැලුවාම අවශ්‍යම කරන දේවල් මඟහැරිලා. අපි පරිසරයට කොච්චර ආදරේ උනත් මේ යන කර්කශ ක්‍රමය වෙනස් කරන්න අමාරුයි. ඒත් යෝගියා පරිසරයත් එක්ක ඉන්නවා වගේ අපි‍ටත් පුළුවන්නේ අවස්ථාවන් සොයාගෙන පරිසරය රස විඳින්න. ඒ වගේම යෝගියා පොඩිඑකාට ජීවිතයට වටිනා දේවල් එකතු කරගන්න උගන්නනවා වගේ අපි හැමෝටම පුළුවන් මතු පරපුරට ඒ දේවල් කියලා දෙන්න.
    මං පොඩිකාලෙත් අපේ ගම නාගරිකරණය වෙමින් තිබ්බා ඒත් පරිසරයේ නිහඬ බවට, ගස්වල කොළ සිලි සිලි ගාලා හෙලවෙන සද්දෙට, මුහුදේ හෝ හඬට ආද‍රය කරන්න අපේ අම්මා තාත්තා ඉගැන්නුවා. ඒ නිසයි කර්කශ පරපුරට අසු නොවී ගහට කොළට ආදරය කරන්නේ. ඉතිං වියැකී යන දේවල් වලට බැන බැන ඉන්නැතුව යෝගියා වගේ කරන්න පුළුවන් දේ කිරීම වටිනවා කියලයි මට හිතෙන්නේ.

    • යෝගී said,

      මාර්තු 11, 2010 at 10:04 ප.ව.

      ඔබේ දෙමාපියෝ වගේ අපේ නූතන පරපුරේ තරුණ දෙමාපියනුත් හිතනවනං මේ රටේ මිනිස්සු ගොඩක් සුන්දර වෙයි ඉදිරි කාලයේදී. යෝගියා නං හිතන්නේ මිනිස්සු කොහේ හිටියත් , ඔබ කිව්වා වගේ පුළුවං හැම වෙලාවකම පරිසරය හොයාගෙන දුවන්න ඕනේ කියලා… සොබාදහමට තමයි මේ යන්තරේකට අහුවෙලා වගේ දුවන අපි ව අන්තිමට සුවපත් කරන්න පුළුවන්..
      ‍ගොඩක් ස්තුතී ගොඩවැදිලා යන්න ආවට..

  11. udaraya said,

    මාර්තු 10, 2010 at 9:38 පෙ.ව.

    ලිපියට පිළිතුරු සැපයිමට තරම් වචන නැහැ සහො..
    අනර්ගයි. ඉටත් එහා

  12. සචී said,

    මාර්තු 12, 2010 at 10:52 ප.ව.

    යෝගී..! මේ චරිත ඔක්කොම මම ඉතා…ම හොඳින් දන්න නිසා මේ හැමෝටම වැඩියෙන් ඔයාගේ සටහන මම රස විඳින්න ඇති! පැටියාත් ඔයත් ඇයත් අතර තියෙන බැඳීම ඇත්තටම මගේ ඇහැට කඳුළු ගෙනා එකක්. ඒ තරම් සුන්දරයි.
    අපරාදෙ..! දුකාලා අපේ ගෙදර ආපු දවසෙ ඔයාලටත් එන්න කියන්නයි අපට තිබුණෙ. කමක් නෑ…ඊළඟ වතාවෙ බලමු.
    ඔයාගේ ලිවීමේ හැකියාව නම් හරිම අගෙයි මල්ලී.. ජය!!!

    • යෝගී said,

      මාර්තු 12, 2010 at 11:09 ප.ව.

      ස්තුතී සචී අක්කා..
      සතියකට වතාවක් මුනගැහෙන අපි , මෙහෙම බ්ලොග් අවකාශෙන් කතාකරන්න පටන් ගත්ත එක පුදුම දෙයක් නේද ? බලපුවාම මගේ පුංචි ලෝකෙන් මිදිලා සයිබර් අවකාශෙට ගියා කියලා හිතපු මං ආයෙත් වැඩිපුරම ගැවසිලා තියෙන්නේ අපේ අයත් එක්කම නේ 🙂

      ‍මං ඔයාගේ සංවාද ගොඩක් දැක්කා FB Group එකේ.හරිම ලස්සනයි.

      ස්තුතී ආයෙමත් , ගොඩවැදිලා යන්න ආවට

  13. LishWish said,

    මාර්තු 12, 2010 at 11:23 ප.ව.

    මේ මම මේකය දාන මුල්ම කොමෙන්ට් එක වෙන්න ඇති. සමාව දෙන්න මම මේවගේ වටින බ්ලොග් එකක් මෙතුවක් කාලෙකට නොදැක්කට.
    පොඩි කාලෙදි අපි අහපු විඳපු දේ මේ පරම්පරාවට නැ කියන දේ සාපේක්ෂයි. අපිට කලින් අපේ අම්මලාත් පොඩ්කාලෙ මීට වඩා සුන්දර වෙන්න ඇති…,
    අපෙ ළමයි ගේ කාලේ වෙනකොට මේ බව මීටත් වඩා අන්තවේවි.

    • යෝගී said,

      මාර්තු 13, 2010 at 6:24 පෙ.ව.

      ලිෂාන් ,
      උඹ ගැන ගොඩක් අහල තිබුනා දුකා ගෙනුයි , තිස්ස ගෙනුයි. ඒත් අදනේ හම්බවුනේ ( comment එකෙං හරි ).සතුටුයි අදුරගන්න ලැබීම ලිෂ්.
      උඹ කියන කතාව සහතික ඇත්ත බං.මං අපේ තාත්තලගේ කාලේ සමාජය යි පරිසරය යි ගැන විස්තර අහනකොට හැමදාම හූල්ලනවා. අපි ඒවයින් අත්වින්දේ බොහොම අල්පයයි. ඉස්සරහට නං…. ඒ ගැන හිතනකොට්ත් හරි අමාරුයි බං.
      – ස්තුතී උඹට ඇවිත් යන්න ආවට

  14. මාර්තු 13, 2010 at 12:44 පෙ.ව.

    හික්..
    මාත් මේ බැද්දෙ හිටියෙ එකෙක්ට සිංහල බ්ලොග් ලියන්ඩ කියාදීපු එකෙන් නරකක් වෙලා නෑ වගේ 😀
    ජය හෝ ඔහොම දිගටම යමෝ..

    • යෝගී said,

      මාර්තු 13, 2010 at 6:16 පෙ.ව.

      බැද්දෙ .. මං උඹට කියන්නෑ.
      මං හිටියෙ බැද්දෙ නෙමේ .. අර තැපැල් කන්තෝරුව ගාව. අර උඹ පාර ඇහුවෙ දාගෙන..
      🙂
      උඹ ගොඩවැදිල ගියත් ලොකු ශක්තියක් සරදියෙල් ගොයියෝ..
      ස්තුතී උඹට..

  15. මාර්තු 13, 2010 at 9:29 පෙ.ව.

    ගම කියන වචනෙට පවා මහත් ගෞරවයක් දැනෙනව. ඒත් එදා අපි හිටපු ඒ ගම අද කොයිතරම් නවීකරණය වෙලාද? එදා දැණුනු ඒ නැවුම් සුන්දරත්වය අද රැඳිලි තියෙන්නෙ මතකය තුළ පමණයි. මොකක්දෝ අඩුවක් තියෙනව ඒ තුළ කිසිදා නැවත පිරවිය නොහැකි.

    • යෝගී said,

      මාර්තු 13, 2010 at 10:44 පෙ.ව.

      සහතික ඇත්ත සහෝ ( උඹට පිටස්තරයා කියන්න නිකං මොකද්ද වගේ ).
      ලෝකෙම අළුත් වෙනව තමා. ඒත් ඉතිං අපේ පරිසරයට මොකද වෙන්නේ එතකොට.
      ස්තුතී ප්‍රතිචාරයට.

  16. Hashitha said,

    මාර්තු 13, 2010 at 9:56 පෙ.ව.

    ඉතා ලස්සනයි මල්ලි. කතාව ඇත්ත මමත් සාක්කි. පොඩි එකා වාසනාවන්තයි. ජය..! සෙනසුරාදාට නැතත් (කෙල්ල දිගට ම ලෙඩ වුනා ) මෙහෙම හරි හමු වෙමු.
    ජය..!
    දිගටම ලියන්න…!

    • යෝගී said,

      මාර්තු 13, 2010 at 10:49 පෙ.ව.

      ඔන්න හෂිත අයි‍යා , වැඩේ සම්පූර්ණ වුනා.ඔයා විතරයි අඩුවෙලා හිටියේ මගේ මේ අළුත් නෙට්වර්ක් එකට. දැං හරි.
      මමත් එකපාරටම පුදුමවුනා හරියට.බොහොම දුර බැහැර ඉන්න යාළුවෙක් නිසා සතියකට වරක් දකින ඔයාලව අළුත් ලෝකෙකදි ආපහු හම්බවුනා වගේ. ඔයා කිව්ව හරි තමා. දැං මෙහෙම හරි හමු වෙමු.
      -ගොඩක් ස්තුතී අයියේ ඇවිත් යන්න ආවට


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: