අරණකට පෙම්බැඳ …

ගෙවෙන කාලය බෙහෙවින් රාත්‍රියයේ සිසිලසට උරුමකම් කියන්නීය. සඳ ඇති රාත්‍රියක කාමරයේ ජනේලය විවරකර තිබියදී සීතලට දැනෙන සුළං රැල්ලක් , මගේ සිතිවිලි පරම්පරාව දශකයකින් එහා දිනකට ඇද දමයි.පැහැදිළි අහසේ සඳ එළිය අතුරින් දිළෙන තරු මුතුකැට ඒ චමත්කාරජනක සීතල රාත්‍රියේ මතකයෙන් මගේ සිත බර කරනුයේ ඇයි දැයි නොහැ‍ඟේ.

“නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ…” කොහේදෝ ඈතක නිවසකින් කපුගේ ගයනු ඇසේ. දුරින් ඇසෙන ඒ ගැඹුරු හඬ රාත්‍රියේ නිසලතාවයට මුසුවී යන්නේ සිත සෙමෙන් පිරිමදිමිනි. රැළි නංවමින් මෘදුව පිළිවෙලකටත්  අපිළිවෙලකටත් ඒ හඬ අන්ධකාරය සමඟ මුසුවී ඇති වී නැතිවී යයි..

කී දෙනෙක් යනවද ඔය ගමන ?

දහයක් විතර යනව තාත්තෙ.. අඩුම වුනොත් හතක් වත් යයි… ”

ඒ වනවිට මා සිතේ ඇඳී තිබුනේ ….

“මං නං කැමති නෑ ඔය අවදානම් ගමං වලට”…  එය තදබල විරෝධයක් ම නොවූයෙන් අපි ගමන සැළසුම් කළෙමු.එසේ වුවද අරහෙං මෙහෙං කන් කෙඳිරි ගා නාහෙන් අඬා , අම්මා පණිවිඩකාරයා බවට පත්කර හෝ තාත්තාගෙන් අවසර ගැනීමේ සම්භාවිතාවය බොහෝ වැඩි බැව් යෝගියා අත්දැකීමෙන් දනී. අන්තිමට ගමනට දින දෙකකට කළින් නැවතත් යනවා කිවු දහයටම කතා ක‍ළේ යෑම පිළිබඳ තහවුරුකරගැනීමට ය.

අවාසනාවක මහත! දහයෙන් හය දෙනෙකුටම ජීවිතයේ තිබූ වැදගත්ම සහ ලොකුම කර්තව්‍යයන් ගමන යන දිනට යෙදී තිබීමෙන් ගමන යන්නට ඉතිරි වූ හතර දෙනාගෙන් තුන් දෙනෙක් සමඟ නැවත සාකච්ඡාවක් කැඳවන්නට සිදුවිය.

“දැං මොකද කරන්නෙ ?.. අපි හතරදෙනා විතරක් යන එක Risky නැද්ද ?”

පිස්සුද යකෝ.. දැං යන්න ලෑස්ති වුන එක යමු කොහොමහරි.  ඒ යෝජනාව සභාසම්මත විය. අපි සිව්දෙනෙකුට අවශ්‍ය ආම්පන්න ලයිස්තු ගත කරමින් සිටියෙමු.

“මචං උයාගෙන කන්ඩ පරිප්පුත් ගම්මු”.. කොච්චර යයිද ?

කවද කාපු පරිප්පුද බං. හිටපං අම්මගෙං අහන්ඩ.

“අම්මේ හතර දෙනෙකුට වේල් දෙකකට පරිප්පු කොච්චර යනවද ?”

යෝගියා නාගත්තේ එවිටය.. නාගත්තා කියා මතක් උනේ ත් අන්තිම වචන කීපය පිටවූවාට පසුවය.

“දහදෙනෙක් යන ගමනට මොකටද හතර දෙනෙකුට පරිප්පු ? “..තාත්තා වෙත ආරංචිය නොයවා අම්මාගෙන් වැඩේ ෂේප් කරගන්නට ගමන යනවා තරම්ම මහන්සියක් ගන්නට සිදුවුනේය.

නකල්ස්….. ඒ වනවිට මා සිතේ ඇඳී තිබුනේ නොයිඳුල් සදාහරිත වනාන්රයකින් හෙබි කඳුපන්තියක සුන්දර චිත්‍රයක් පමණි.ජීවිතයේ යමෙකුට හුදකලාවියහැකි චමත්කාරජනකම ස්ථානය ඒ යැයි මා දැනසිටියේ නැත. වරක් දෙකක් ගොස් ආවත් සැමදාම එය සමඟ සිතින් ජීවත් වන්නට සිදුවන ගමනකැයි දැනසිටියේ නැත. කඳු මුඳුන් දෙකක් අතරින් වලාකුළු පෙරී එනවා ඔබ කවරදාකවත් දැක තිබේද? මා ඊට පෙර කිසිදා එය දැක තිබූයේ නැත.මා ඒ ගැන අසා තිබුණේ ද කවිය රයිම් වෙන්නට ලියන වචන කීපයක් ලෙස පමණකි . ස්කන්ධයක් නැතිවාක් මෙන් අහසේ එහෙමෙහෙ දුහුල් ව ඇදී යන වළාකුළු කිරිබඳුනක් වත්කළා සේ – නමුදු බොහෝ සෙමින් – කඳුගැට දෙක අතරින් පහළට පෙරී එනබැව් මා ඊටපෙර කිසිදිනක දැක තිබුනේ නැත.

කඳු මුඳුන් දෙකක් අතරින් වලාකුළු පෙරී එනවා ඔබ කවරදාකවත් දැක තිබේද?

අනන්තය දක්වා විහිදෙන සදාහරිත නිම්නයට ඔබ්බෙන් ඕ අප්‍රමාණව  නැගී සිටින්නීය. මං මාවත් පුරා විෂ පෙවුනු වායුවෙන් පපුව පුරවා ගන්නා සියල්ලන් ම තමා වෙතට එත්දී ඕ මහත් සෙනෙහසින් දෝතට අරගන්නී , මවක් මෙන් සිසිළ සදන්නීය. සෙවන සදන්නීය.

මම කවුළු පියන සම්පූර්ණයෙන්ම විවර කර ඇතුළට විත් මා හා වෙළෙන්නට තනන සුළං රැල්ලට ඉඩ  දුන්නෙමි. මේසය මත වූ තිත්ත රසයක් සහිත තේ කෝප්පයෙන් උගුරක් බීවේ සිසිල් සුළඟින් සීතල වූ සියොළඟම උණුසුම් කරගතිමි. ඒ මුහුණ පෙළන සීතලද තිත්ත රස මුසුවූ උණුසුමද මා නැවතත් අතීතයේ ස්මාරකයට ඔසවා තබන්නේය.

ගමන ඇරඹුනේ ගම්පහින් නුවර දක්වා දුම්රියෙන් ගොස් ඉතිරිය බස්එකේ යන්නට කතාකරගෙනය. අවශ්‍ය අඩුම කුඩුම සියල්ල බෑග් වලට අඩුක්කරගත් අපි කළින් කතාවූ වේලාවට ගම්පහ දුම්රිය ස්ථානයට පැමිණියෙමු.ඒ වනවිට ඉතිරිව සිටි හතර දෙනාගෙනුත් එකෙක් හැලී තිබිනි.ගමන නුවරටත් නුවරින් මාතලේටත් විශේෂයක් නැතිව යාගත්තෙමු. මාතලේදී මඳ විවේකයක් ගත් අපි , නකල්ස් යන අයුරු පුද්ගලයෙකුගෙන් ඇසූයේ අපි තිදෙනාගෙන් එකෙකු හෝ මේ ගමන ගොස් නැති නිසාවෙනි.

“ගමන නං හොඳයි පුතා.. ඒත් මේ දවස්වල එහාට සැරට වැස්ස. කවුරුත් යන කාලයක් නෙවෙයි නේ..”

අප මග විසතර ඇසූ තලත්තෑනි පුද්ගලයා අපව මඳ අපහසුවකට පත් කළේ ය. දැං ඉතිං ආපු එක මාතලේ බුදියගන්ඩද බං.. යමං.

ඔයාලට යන්න තියෙන්නෙ අර බස්එක.ඉලුක්කුඹුරට යනකං යන්න වෙනවා.

අපි දිවගොස් බසයට නැඟි අතර ඉඩපාඩු තිබූයෙන් ආසන තුනක හිඳගතිමු. කොන්දොස්තර තැන ටිකට් මැෂිමත් අතට අරං ලඟට ආවේය.

“ඉලුක්කුඹුර තුනක්”…. “ආ මල්ලී. හැත්තැ පහයි”. මගෙ කටේ කෙළ සිඳී යන්නට ආවේය.

රුපියල්-ද බං හැත්තැ පහ? හෝලට් එකක දුර රුපියල් දෙකේ කාලෙදී හැත්තැ පහ කියන්නේ හම්බ දුරක් විය යුතුය. මේ පුංචි බස් එකේ හෙට එළිවෙනකං යන්ඩ වෙයිද මන්දා. මම අපේ විමධ්‍යගත අරමුදලෙන් රැගෙන හැත්තෑපහක් කොන්දොස්තර තැනට දුනිමි.

අපේ අපමණ සිනා කවටකම් මැඳින් බස් රථය ගමන් අරඹා තිබිණි. මුළු බස් රථයේම උන් පිරිසත් සමඟ මෙන්ම රියැදුරු- කොන්දොස්තර දෙපළ සමඟද හිතවත් වීමට අපිට වැඩි කලක් අවශ්‍ය වූයේ නැත. දිගින් දිගටම ගමන ඇදී යත්දී අපි බලාපොරොත්තු වූ සදාහරිත සුරපුරය නම් පේන මායිමක නොවීය. වැස්සෙන් මඩ වූ පාරවල්ද , දෙපස කැපූ පස් කණ්ඩිද දෙමටගොඩ ගුවන් පාලම හදන්නට ගතවූ මුල් කාලය සිහිපත් කළේය. “මල්ලී.. දැං ඔහොම ගියාට තව ටිකකිං ඕගොල්ලොන්ටම හිතාගන්න බැරිවෙයි කොහෙද මේ යන්නෙ කියල.. ඔහොම ඉවසල යංකො” අපි එකිනෙකාගේ කෙඳිරිල්ල ඇසුනු මට එහායින් සිටි පුද්ගලයා සිනාසෙමින් පැවසීය. “ඕන මඟුලක් දැං ඉතිං. ගිහිල්ලම බලමුකො”….

ඔහු නිවැරදි බව පසක් වීමට වැඩි කාලයක් ගත්තේ නැත. වංගු හැරෙමින් මඳ බෑවුම් දිගේ බස් රථය සෙමෙන් සෙමෙන් මේ ඇදෙන්නේ ලංකාවේ පිහිටි පලාතකටනම් නොවේ. තැනින් තැන හැඩවුන මහරත්මල් ගස් මෙන්ම මැයි මල් මෙන් ඈතට දිස්වෙන තවත් ගස් සමූහයක සෙවනින් පාර ආවරණය කරන්නී නෙතට අපමණ චමත්කාරයක් ගෙත්තම්කරමින් සිටියහ. පාර පටුය. ප්‍රපාතාකාර බෑවුම් සහිතය. විටින් විට කුඩා පැල්පත් මෙන් පෙනෙන තේ කඩ ද , තේ වතුවල දළු නෙලන වතු කම්කරුවන්ගේ නිවාසද පසුකරමින් අපි ගමන් ගත්තේ සැතපුමෙන් සැතපුම අප මේ ඇදීයන අදහාගත නොහැකි නිල් දසුන වෙත පූර්ණ අවධානයෙනි. ඇසිපිය ගසන නිමේෂයකදී පවා දෙනෙත් ඉදරිපිට ඇදහැලෙන ඒ සුන්දරත්වය අපෙන් මිදී යනවාට අපි ලොබ වීමු.

කඳු මුඳුන් හි තැන් තැන්වල තුනී පටල ලෙසින් මීදුම් සිනිඳුවට වෙලෙමින් තිබෙනු පෙනෙයි. හිරු එළිය දුම්බර කඳු අතර ගැවසෙන දුමාරයට එපිටින් වසන්ව ගියාක් මෙනි. අතර මඟ කුඩා කඩයක නවත්වා මඳ වෙහෙස නිවාගෙන තේ බී නැවත ගමන ඇරඹූයෙමු. වංගුවෙන් වංගුව ඇදී ඒ දුෂ්කර වූ මාර්ගය රිවර්ස්ටන් පසුකළපසු අපි වදනක් හෝ දෙඩුවේ නැත. අසුනෙන් අසුනට මාරුවෙමින් හැකිතරම් මඟ දෙපස දිස්වෙන ඒ දර්ශනයට වශී වී බලා සිටියා මිස අප අවට ගැන කිසිදු අදහසක් නොවීය. රියැදුරා ද මට අවශ්‍යය තැනදී බසය නවත්වා ඡායාරූප ගැනීමට අවස්ථාව ලබා දුන්නේ කිසිදු පැකිලීමකින් තොරවය. ඒ වනවිට බස් රථයේ ඉතිරිවී සිටි අනිත් මගීන් කීප දෙනාත් සමඟද බොහෝ කුළුපගව සිටියෙන් කිසිදු විරෝධයක් පැන නැඟුනේ ද නැත.

… ඒ දුෂ්කර වූ මාර්ගය රිවර්ස්ටන් පසුකළපසු අපි වදනක් හෝ දෙඩුවේ නැත.

කෙමෙන් අපි ඉලුක්කුඹුරට ලඟාවීමු. “මල්ලී .. අර පේන්නෙ වනජීවී එකේ Office එක. එතන ඉන්න මහත්තය හම්බෙන්න කෙලින්ම.”  කොන්දොස්තර තැන අදාල පුද්ගලයාගේ නම සඳහන් කළේය. අපි සියළු දෙනාටම ආයුබෝවන් කියා බසයෙන් බැසගතිමු…

“මහත්තය නැද්ද අයියෙ?” එතැන සිටි තරුණයාගෙන් ඇසුවෙමි. අයියෝ, මහත්තය කොළඹ ගිහිල්ලනෙ. අද හවස්වෙයි එනකොට.

කාල වරෙංකො. දැං ඉතිං කාට කියන්ඩද. මහත්තේල කොළඹිං බුක්කරලද ආවේ? වැඩේ නොපිට පෙරළෙන බව පෙනිණි. කලින් නොදන්වා පැමිණීමෙන් ආගන්තුකයන්ට මෙහි welcome එකක් නැත. මට ඔය වගේ නොපිට වෙලාවට පහළවෙන ගණදෙවි නුවණ පිහිටට ආවේය.

මේකයි අයියෙ. අපිට බුක් කරන්න අවශ්‍ය නෑ. මහත්තය ඉන්නව කියල හිතං ආවෙ කෙළින්ම හම්බෙන්ඩ.. ඔය කිව්ව මහත්තයා කළුද සුදු ද නොදැන කියා දැම්මේ අපේ ලොකු තාත්තා ගැන කියන්නා වගේය…

කමන්නෑ.. අපිට මේ කෑම ටික කන්ඩ තැනක් පෙන්නන්ඩකො.

ගහකොලින් වටවූ අප්‍රමාණ පරිසරයේ කොටසක් වූ මේ අහිංසක මිනිසා බොහෝ අව්‍යාජව අපට එහි වූ අමුත්තන්ගේ කාමරය පෙන්වූයේය. කෑම කන අතරතුර කතාබහේදී , අවසර නැතිව මෙහි ඇතුල් විය නොහැකි බවද එසේ ඇතුල් වෙතත් මඟපෙන්වන්නෙකු සමඟ මිස තනිව යා නොහැකි බවද දැනගන්නට ලැබිණි. මිනිසුන් කැලෑවැදී පොලිතීන් ආදී අපද්‍රව්‍ය දමා , අතු සිඳ ගස් වනසා , සතුන් දඩයම් කර වනාන්තර සුන්දරත්වය  විනාශ කර හෙයින් කිසිවකුටත් අනවසරයෙන් එහි ඇතුලුවීම තහනම් කර ඇති බවද ඔහු පැවසූයේය. මම අන්තිම තුරුම්පුව ගැසුවෙමි.

“අපි ආවෙත් අන්න ඒවගේ දේවලින් පරිසරයට වෙන හානිය ගැන පරීක්ෂන වාර්තාවක් අරන් යන්න.. අපිට උදව් කරන්න පුළුවන්නම් ලොකු දෙයක් අයියෙ..”

මහත්තේලට කැලේට යන්න කියන්නනං මට බෑ මහත්තය. ඒත් යන අය යන්නෙ නං මේ පාරෙන්..”

අපි ඔහුගෙන් සමුගෙන හැකි ඉක්මනින් කැලෑ වැදුනේ ලොකු මහත්තයා ආවොත් වැඩේ ගැස්සෙන බැව් දන්නා හෙයිනි. කැලෑවට ඇතුලුවන තැනදී එක් සගයෙක් කොළ අතු කැබැල්ලක් කඩා ගසක එල්ලනු අපි අනිත් දෙදනා බලා සිටියේ මහත් ගෞරවයෙනි.ඒ අපේ පැරණි සම්ප්‍රදාය යි. එතැනදී අපි කොළ කැබැල්ලක් හෝ කැලයේ දමා අවුදින් කැලයට හානියක් නොකරන ලෙස වගබලාගැනීමට එකිනෙකාට පොරොන්දු වීමු.  ආපසු එන තෙක් ම එය අකුරටම පිලිපැද්ද බව නම් මතක්වනවිට සිතට සියුම් ආඩම්බරයක් එක් වේ.

හවස්වීගෙන එමින් තිබිණි.

දුරින් දුටු ඒ සුන්දර මිටියාවත මහා ගස් ගොඩක් වී අප වටකරගෙන ඇත. අපි ගමන ඇරඹූ තැනින් ම නැග්ම ආරම්භ වන කන්දේ මුඳුන , කෙළින්ම අහස දෙස බැලීමක් වැනි සීග්‍ර නැග්මකින් යුතුය. බිං කළුවර වැටෙන්නට මත්තෙන් අපි කඳුමුඳුනට නැගීමේ බලාපොරොත්තුවෙන් ගමන ආරම්භකළෙමු. කිහිපදෙනෙකු අතින් මාරුවෙන් මාරුවට රැගෙන යන වතුර කෑන් , පෙට්රෝල්මැක්ස් , විශාල ටෙන්ට් එක ආදිය ද එකිනෙකාගේ පෞද්ගලික බඩු මලු ද හුවමාරුවට ගෙනයාමට පිරිසක් නැති හෙයින් අපි තිදෙනාටම රැගෙන යාමට සිදුවීම ගමනට විශාල වෙහෙසක් එක් කළේය.

බඩු බර වැඩිය. කන්ද සෘජු නැග්මක් සහිතය. දෙපා රිදුම් දෙයි.   ශිෂ්‍ය භටයින් ලෙස පාසලේ ලැබූ පුහුණුව තිදෙනාටම තිබීම මහත් වාසියක් ගෙනදුන්නේය. ශිෂ්‍ය භටයෙකු ලෙස ලබන පුහුණුව හමුදා පුහුණුවක් හා සම කළ නොහැකි වුවද , පාසල් ශිෂ්‍යෙයකු වශයෙන් ඉතා රළු හා කර්කෂ කාලයක් නවකයෙකු ලෙස ගෙවීමට ශිෂ්‍ය භටයෙකුට සිදුවේ. අවි සරඹ පුහුණුව , ඉලක්කයට වෙඩිතැබීම් මෙන්ම කැලයේ හෝ යුධ හමුදා කඳවුරු වල විශේෂයෙන් ඉදිකල  ස්ථානවල බාධක මැද දිගු දුරක්  දිවීම දහදිය , කඳුළු මෙන්ම විටෙක ලෙයද හැලීමට සිදුවන දුෂ්කර කාලසීමාවක් ජීවිත අත්දැකීම් වලට එක්වේ.අව්ව , වැස්ස හෝ වෙනත් කිසිදු බාධාවක් අපිව අභිභවා යා නොදී ඊට එරෙහිව සටන් කරන්නට අප හුරුකළේ ඒ කටුක පුහුණුවයි. එකිනෙකාට තමාගේ මහන්සිය නොපෙන්වමින් මහත් බරක් දරාගෙන අපි කෙමෙන් ගමනේ දුරින් භාගයක් පමණ පසුකළේ බොහොමයක් සෘජු බෑවුම් තරණය කරමිනි.

වැටී තිබූ ගසකින් අපි හොඳ ලී කැබලි තුනක් කපාගත්තෙන් බෑවුම් වලදී එය පහසුවක් ගෙන දුන්නේය. මඳන් මඳ බෑවුමද වනාන්තරයයේ සොභාවයද අපට එරෙහිව සිටියෙන් අපේ ගමන් වේගයට එය දැඩිව බලපෑවේය.  කුඩාවට බොහෝ තැන්වල අපහැදිලිව සටහන් වූ අඩිපාරක් වැනි මඟ සලකුන ද කෙමෙන් අපේ දසුනින් ඈත්විය.

රෑ බෝවේගෙන එන නමුදු ගමනේ කෙළවරක් නැත. එක් වරම වනය අසාමාන්‍ය ලෙස රළු වෙනු දැනිනි. අඩි කීපයක් යාගැනීමට විනාඩි ගනණාවක් ගතවූ තැන් ද බොහොමයක් අපි පසුකළෙමු. ඒ වනවිට දැඩි බෑවුම අඩුවී තිබුනත් වනාන්තරය මහා පවුරක් ලෙසින් අප ඉදිරියේ නැගී සිටියාය. කටු පඳුරු අපේ අත්  කපා දමා සූරා තුවාළ කර තිබිණි. උස් වූ ගස් යටින් දැඩි යටි රෝපනයක් ලෙස විවිධ වර්ගයේ පඳුරු වැවී තිබිණි. ගල් මතින් පනිමින් ගස් කොළන් අතරින් ගමන් කරීම අපහසු වූ බැවින් ඉදිරියෙන් යන කෙනා අතට කල්තබා රැගෙන ආ ලොකු පිහියක් ගතිමු. මිනිසුන් අසලක නැති මහ වනාන්තරයක , එවතුදු නොව දැඩි බෑවුම් සහිත කඳු පන්තියක් තරණය කරමින් සිටින අතරතුරක අපි මුහුණ දෙමින් සිටි තත්වය පිළිබඳ කටුක සත්‍යය කෙමෙන් වැටහීගියේ ය.

අපට මඟ වැරදී තිබිණි.

ආපසුයාමක් ගැන සිතන්නටවත් නොහැක. ගමන් වෙහෙස ද බලාපොරොත්තු කඩවීමද නන්නාඳුනනා මහ වනයක් මැද හුදකලාවීමේ බියද අපේ සිත් වල නොසන්සුන් කමක් ඇති කලේ නමුදු අපේ ජවය බාල කරන්නට සමත් නොවීය.

මඟ අහුරා මහා ගස් වැටී තිබිනි. කලෙකදී දියපහරක් යැයි සැක සිතූ වැලි සහ ගල් සහිත තැනකින් අපි උඩට නගින්නට පටන් ගත්තේ ඒ දිගේ ගියහොත් ගමනේ දුෂ්කරතාවය මඳක් අඩුවේ යැයි සිතමිනි. එන්න එන්නටම අඳුර වැටෙන්නට පටන් ගෙන තිබීමත් අතුයටින් රිංගමින් ලොකු බරක් සහිත බෑග් පිටේ එල්ලාගෙන ගස් කඳන් , ගල් හා කටු පඳුරු උඩින් පනිමින් යන ගමනේ නිමාවක් නොදැකීමත් අනතුරුදායක හැඟීමක සේයාවක් අප සිතේ ජනිත කළේය. රෑ බෝවෙන්නට කළියෙන් ටෙන්ට් එක ගසා ගත යුතුය. කළුවර වැටුන පසු මේ  වනාන්තරයේ කටු පඳුරු අතර ටෙන්ට් ගැසීම කළහැකි දෙයක් නොවේ.

අකමැත්තෙන් වුවත් හමුවූ මුල්ම කුඩා ඉඩක් සහිත ස්ථානයේ කූඩාරම ඉදිකිරීමට එකෙක් යෝජනා කළේය. කළින් දා වැටුනු වැස්සෙන් එහි බිම යම් මඩ සහිත එරෙන සුළු ස්වාභාවයකට පත්කර තිබිණි. තවද කූඩාරමක් ගැසීමට සුදුසු තැනිතලා ගතියක් ද එහි නොවිනි. කූඩාරම ඉදිකළද එළියට බසින තැනම තාප්පයක් මෙන් කුඩා හා විශාල පඳුරු ය.සිර ගෙයක ලගින්නාක් මෙන් අපට රාත්‍රිය ගතකිරීමට සිදුවෙයි. නමුත් විකල්පයක් නොමැත.

අපි බෑග් පිටෙන් බෑවෙමු. එකිනෙකා මහන්සි ඇරගනුවස් විනාඩියකුදු අපතේ යැවයේ නැත්තේ ආලෝකය තිබෙන්නේ තව විනාඩි කිහිපයක් පමණක් බව හොඳින් වැටහුණු බැවිනි. ඇරත් මේ ගස් ගොල්ලට කළින් ම රෑ වෙයි. කට්ට්ය වැඩේ පටන්ගත්තා පමණි. බඩගා නැගිය හැකි ගසක් අසල දුටු බැවින් මා අපහසුවෙන් එයට ගොඩවූයේ මේ අතොරක් නැති වනාන්තරයෙන් එහා කඳුමුඳුන කොයි දෙසකින් හෝ පෙනේවා යි පතමිනි. අවට සිසාරා බලමින් මඳින් මඳ ගස මුඳුනට ළඟාවීමි.

ටෙන්ට් ගහන එක නවත්තපාං !…

මම කෑ ගෑවෙමි. මා කෙමෙන් කෙමෙන් අවට වූ යටිරෝපනය පසුකරමින් ගසදිගේ ඉහළට ඇදෙනවිට අඩි ගණනාවක් උසට වැඩී තිබූ ගස් මුඳුන් හරිත වර්ණ ඇතිරිල්ලක් සේ මා ඉදිරියෙන් දිස්වන්නට වූයේය.ඊට ඔබ්බෙන් කඳු මුඳුනේ නැග්ම අවසන් වීමේ ලකුණක් ලෙස , ප්‍රපාතාකාර බෑවුමක් පැවතීමේ ලකුණක් ලෙස ඒ හරිත වර්ණ ඇතිරිල්ල මඳක් උස් වී පසුව නොපෙනී යයි.එනම් මා මේ දකින්නේ අපේ ගමනේ මෙතෙක් වේලා අප දැකීමට බලාපොරොත්තුව සිටි කඳු මුඳුනයි. තව පැය කාලක පමණ ගමනකින් පසු අපට ලඟා විය හැකි ස්ථානයයි.එයින් එහායින් වූයේ තවත් උස් වූ විශාල කන්දකි. ඒ කන්ද අප තරණය කරමින් සිටි කන්දෙන් බැස ගොස් නැවත නැඟිය යුතු දුරකින් පිහිටියා ය.

ඇසිපිය ගසන නිමේෂයකදී පවා දෙනෙත් ඉදරිපිට ඇදහැලෙන ඒ සුන්දරත්වය…

බිම පතිතවන්නට තතනන මඳ අඳුර අතරින් සඳ පායා ආවේය. පසු දා පොහෝ දියනක් බැවින් සඳ ඉතා වටකුරුව විශාලව අහසේ දිළිසෙමින් තිබිණි.වැසිබර දිනක ලකුණු මඟින් මඟට අපට  පෙන්වූව ද අපේ විඩාවට හා අපහසුකම් වලට මඳ අස්වැසිල්ලක් වෙමින් සඳ පායා තිබිණි. ඝන කළු නිල් පැහැයෙන් යුත් පැහැදිලි අහස පසුබිම් කරගෙන දීප්තිමත් ව බිනර සඳ පායා තිබිණි.

අවශ්‍ය ආම්පන්න ගෙනැවිත් තිබූ බැවින් වෙහෙස නොබලා ඉක්මනින් අපට කූඩාරම ගසාගැනීමට හැකිවිය. ඔසවාගෙන ආ භූමිතෙල් ලිප භාවිතයට නොගත් අපි ඉක්මනින් විස්කෝතු කැබලි කීපයක් චීස් සමඟ ආහාරයට ගත්තේ හැකි ඉක්මනින් කූඩාරමේ වැතිරීමේ බලාපොරොත්තුවෙනි.

සඳ එළිය හාත්පස වනාන්තරය මත සෙමින් වැතිරී තිබිණි. අපූර්ව ගුප්ත මේ වනාන්තරයට ඉන් යම් නිසංසලත්වයක් එක්කර ඇතුවාක් මෙනි.කඳුකර ශීත වනාන්තරවල බොහෝ උස් නොවූ කුරු ගස් වල සෙවනැළි සඳ පහනින් අප වටා චමත්කාරජනක වියමනක් අතුරා ඇත. පතන බිම සිසාරා ඇදී ආ සුළඟ සිහින් හඬක් නඟමින් අපට ඉහළින් ඇදී ගියේය. කූඩාරමින් එළියේ වූ ගල්කුළු කීපයක් මත හිදගත් අපි මඳ වෙලාවක් කතාබහේ යෙදීහිඳ නිඳාගැනීමට ඇතුළට රිංගුවෙමු. එතැන මඳ බෑවුම් සොභාවයක් පැවතිණි. නමුත් ගමන් වෙහෙසත් මඟ වැරදීමෙන් ඇතිවූ විඩාවත් අපට ඉතා ඉක්මනින් නින්ද ගෙන ආවේය.

කෙතරම් වෙහෙස තිබුණද වනාන්තරයේ සිව් කොණින් නැඟෙන හඬවල් අපේ නින්ද විටින් විට සොරාගත්තේය. මැදියම් රැයේ මා අවදිවීමි. කූඩාරමේ මඳක් ඉහළට වෙන්නට කුඩා කවුළුවක් තිබිණි. දැලකින්ද තවත් පිටත ආවරණයකින්ද වසා තිබූ ඒ කවුළුව මා විවෘතකර මඳකට ඉහළ බැළුවෙමි. පිටත මා දුටු දසුන දස වසරකට පසු මේ ලියන මොහොත වනවිටත් දැන් දුටුවා සේ මා සිතේ රැඳී තිබෙයි. එහායින් වූ කන්ද සඳ එළියෙන් මහා උසකට නැගී තේජසින් ඈත බලා සිටී.ඊට මඳක් ඉහළින් තරු පිරි අහසේ සඳ පායා දිළිසෙමින් තිබිණි. අවට කුඩා සතුන්ගේ නාදයෙන් අතොරක් නැතිව පිරී ගොසිනි. ඒ කන්ද පිහිටි පැත්තට බෑවුම් වන කුඩා ගස් වියන , සිවුරුහන් හඬ නඟමින් ඇදෙන සුළඟ , ඉන් එහා ඈත අනන්තය …. මනුෂ්‍යත්වය ඉක්මවූ එවන් දිව්‍යමය මායාවක් හා ඒකාත්මික වන මෙවන් මොහොතකදී විනා ඔබ සොබාදහමේ කොටසක් යැයි සිතෙන්නට වෙනත් අවස්ථාවක් එළඹෙන්නේ නැත. ඒ චමත්කාරයෙන් මඳ වෙලාවක් සිත පුරවාගනිමින් මා කල්පනා කළේ මොනවාදැයි මතක නැති නමුත් ඒ ආනන්දයෙන් ම නැවතත් මා නින්දට වැටුනු බවනම් මතකය.

ඒ කන්ද පිහිටි පැත්තට බෑවුම් වන කුඩා ගස් වියන

වෙලාව පාන්දර දෙකහමාරට පමණ වන්නට ඇත.පිටකොන්ද දිගේ සීතලක් දිව යනු දැනුණි.. මා සැණින් අවදිවී ඉඳගතිමි. සිදුවන්නේ කුමක්දැයි අමුතුවෙන් පැහැදිළි කර දෙන්නට උවමනා නොවීය. මීට පැය කීපයකට පෙර දුටු ඒ සුන්දර රාත්‍රිය බිනර මාසයේ චණ්ඩ කුණාටුවක් විසින් පළවා හැර තිබිණි. සිව් දිගින් ඇසුනේ ගස් කොළන් මතට වැහිදිය පතිත වන ශබ්දය හා අහසේ ගෙරවුම් හඬ පමණි. කූඩාරම සාමාන්‍ය වර්ෂාවකට යම් කාලසීමාවක් ඇතුළත ඔරොත්තු දෙන එකක් වූ නමුඳු මේ ධාරාණිපාත වර්ෂාවටනම් මිනිත්තු කීපයකට වඩා මුහුණ දෙන්නට එයට හැකි නොවීය.

නන්නාඳුනනා මහා වනාන්තරයක , ධාරාණිපාත වර්ෂාවක් මැද්දේ අපි අසරණ වීමු. මහන්සියට හරි හමන් නින්දක් යන්න පටන්ගත්තා පමණි. කූඩාරමේ ඉහළින් වතුර බේරෙයි. බිමදිගේ බෑවුම ඔස්සේ ගලායන ජලය කූඩාරම යටින් සීතලට ගලා යයි. වරින් වර පරිසරය නිල් පැහැ දීප්තියෙන් සලිත කරමින් විදුලි එළී නැඟෙයි. කරන්නට දෙයක් නොවූ තැන තෙමෙන තරමක් තෙමෙන්නට ඉඩදී අපි ඔහේ කූඩාරමේ ඉඳගෙන උන්නෙමු. අන්තිමේදී  දුම්බර අඩවියට අනවසරයෙන් ඇතුළුවූ ආගන්තුකයන් තිදෙනා සාදරයෙන් පිළිගැනීමට මෙන් වැස්ස වැස්සේය. ඊටම එපා වී පැයකට දෙකකට පමණ පසු වැස්ස පායා යන තුරුම අපි ඇහැරන් සිටියෙමු.  වැස්ස අහවරවී නින්ද ගියේ කොයි වෙලේදැයි අපි එකෙකුටවත් නිනව්වක් තිබුනේ නැත. තෙත බරිත ඇඳුම් වේලෙනතුරු කූඩාරමේ ඉඳගෙන ඉද්දී තිදෙනාටම උන්න තැන්වලම නින්දගොස් තිබුනේය.

පළමු උණුසුම් අරුණු රැස් නකල්ස් කඳුපන්තිය සිපගනිත්දීම මා අවදි වූයෙමි . පෙරදා වැස්ස කඳුයායට නැවුම් බවක් එක්කර තිබිණි. තෙත් වූ පසින් හා අළුත් මල් සහිත පැලෑටිවලින් කුමක්දෝ  ආකර්ශනීය සුවඳක් හමා එයි. සමනළයින් තැන තැන කුඩා පඳුරු වල පිපී උදෑසන අවදිවන්නට වූ මල් අතර එහෙ මෙහේ සරමින් කුඩා වනරොදට මහත් අලංකාරයක් එකතුකරයි. කූඩාරමෙන් එළියට ඇදුනු අපි එතැනම වූ කුඩා ගල් කීපය උඩ හිඳගතිමු. පෙරදා ඔසවාගෙන ආ වතුර කෑන් වලින් කුඩා භාජනයක් පුරවාගත් එකෙක් භූමිතෙල් ලිප පත්තුකර තේ සෑදීම සඳහා වතුර උණු කරන්නට පටන් ගත්තේය.

සිහින් දුමාරයක් මෙන් තවම උදෑසන මීදුම හාත්පස වෙළී තිබෙයි.  කුමක් දැයි හරියට නම නොදන්නා එහායින් වූ කන්දේ මුඳුනෙන් වලාකුළු පෙරී එන්නට පටන් ගෙන තිබේ. උදෑසන හිරිගඩු පිපෙන සීතලේ උණුසුම් තේ කෝප්පය අපමණ ආශ්වාදයක් ගෙනාවාය.

තේ බී අවසන් වී අපි මඳක් ඉහළට නැගගතිමු.  එතැන කුඩා එළිමහන් බිමක් වූ අතර එතැන අප සිටි කන්දේ එක් පසක බෑවුමකට ඉහළින් පිහිටියේය. එතැන් සිට මුළු මහත් දුම්බර මිටියාවතම දර්ශනය වෙයි. කඳු මුඳුන් වලට හිරුරැස් පතිත වෙමින් තිබිණි. ඈත කඳු ශිඛරයන් හි උදෑසන අහසේ නීල වර්ණය මුසුවී පෙනෙයි. වළාකුළු කැටි කඳු අතර හිස් අවකාශය පුරවා ඇත්තේ මුහුදක් මෙනි.සුළඟ විටින් විට කම්මුල් සීතලෙන් හිරිවට්ටමින් දිගින් දිගටම අප සිසාරා හමා යන්නට වූවාය. නම කියන්නට නොදන්නා නේක වර්ගවල කුරුල්ලන් උදෑසන ගායනය අරඹා තිබූයෙන් මුළු කඳු යායම එකම සංගීත සංධ්වනියක සිරි ගත්තේය. කුඩා පත්‍රයන් හා නො උස් වූ කඳන් සහිත ශීත කඳුකර ශාකයන් තවමත් පින්නෙන් සැරසී සිටිනු පෙනෙයි.  දම් පැහැති කුඩා මල් සහිත පැළ වර්ගයක් මුළු කඳුකරය පුරාවටම විසිරී පැතිර ඇත. යන යන තැනින් දම්පැහැයෙන් යුක්ත මේ මල් වල දසුන ඇස ගැටෙන්නේ මායාකාරී සුන්දරත්වයක් හාත්පස පරිසරයට එක්කරයි.

මෙහි නොකී බොහෝ ලොකු කුඩා සුන්දර අත්දැකීම් රැසක් එතැනදී අප එකතුකරගතිමු. කූඩාරම වටා ඇතිරී තිබුණු – මිදුලක මට්ටමට කපා ඇත්තා සේ ඇතිරී තිබුණු තණකොළ මත පිණි ඉහිරී තිබෙනු මට දැනුදු පෙනෙන්නා සේ ය. ඊට ඔබ්බෙන් වනාන්තරය පටන්ගන්නට පෙර ඉදිරී වැටුනු ගස් කඳන් සියුම් කලාකෘතියක් වැන්න. හිරු එළියෙන් ජවසම්පන්න වූ නිල් අහස ගස්වලට ඉහළින් නොදන්නා කුමක්දෝ ඉතා ගැඹුරු මානයක් කරා ඔබ රැගෙන යයි. එදින දහවල් වන තුරුම අපි කැලයේ ඇවිද්දෙමු.

සිතුවාට වඩා ලිපිය බොහෝ දිගවිය. දින ගනණාවක විවේක වේලාවන් එකතුකරමින් ටිකෙන් ටික කාලයක් පුරා ලියන්නට සිදුවූයෙන් සිතුවාට වඩා දිගු කාලයක් ඊට වැයවී තිබේ. තව ලියන්නට දේවල් බොහෝ එකතු වූවද තවත් කියවන්නා වෙහෙසකරන්නට සිත් නොදේ. දහවල් වන විට අප සතුවූ වතුර සියල්ලම ඉවර වූ අතර කඳු බෑවුම තරණය කරමින් එහා කන්දට නැගීමේ අදහසද අත්හැර දමන්නට සිදුවිය. සත්තු ජලය බීමට භාවිතා කරන මඩ සහිත එකම එක තැනකින් පවස නිවාගත් අපි දහවල පසුවනවිට ආපසු එන්නට හැරුනෙමු.

මේ ලිපියයේ ලියැවෙන්නේ මතකයට නැඟුනු මගේ ජීවිතයේ එක්තරා  සුන්දරතම දින කීපයක සටයන් ය . මා ඒ දින දෙකතුනේ ගනුදෙනු කළේ කවර අන්දමේ පරිසරයක් සමඟදැයි කියන්නට මට ඕනෑ විය. සමහරවිට ඔබ බලාපොරොත්තු වූ Adventure කතාන්දරයක් මෙහි නැත්නම් ඒ කුමක් නිසාවත් නොව මා අතිශෝක්තියෙන් කිසිවක් මෙහි ලියන්නට බලාපොරොත්තු නොවූ බැවිණි. මේ වනපෙත අදවන් සීතල රාත්‍රීන්හිදී ද, උදෑසන හිරුඑළිය පොළව සිපගන්නා තත්පරයේ දී ද නැවත නැවතත් මා කැඳවන්නීය. එය බිඳිය නොහැකි බැඳීමක් ලෙස ජීවිතයට එකතු වී තිබෙයි. එක දවසක් – එක් ගමනක් ජීවිත කාලයක මතක සටහන් ඉතිරිකර ඇත.( මෙහි විස්තරකෙරෙන ගමනේදී අප තිදෙනා විසින් ගත් ඡායාරූප දැනට මා සතුව නැති බැවින් මේ සමඟ ඇත්තේ පසුව නකල්ස් වෙත ගිය ගමනකදී ගත් ඒවා ය)

මා සමඟ ගිය එක් මිතුරෙක් දැන් වෛද්‍ය විද්‍යාලයෙන් පිටවී ගම්පහ රෝහලේ සේවය කරයි. කුමන දෛවෝපගත සිදුවීමක් දැයි නොදනිමි, අනිකා ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයෙන් සුදුසුකම් ලබා ආයුර්වේද වෛද්‍යවරයෙක් ලෙස සේවය කරයි.

දැං ඉතිං අහන්ඩ එපා ඉතුරු එකා මොන වෙදකමද ඉගෙනගත්තෙ කියල. මං කටු චිකිත්සාව ටිකක් ඉගෙනගත්තා -මරදාන පැත්තෙං , ඉස්කෝලෙ යන කාලෙදි 🙂 . වියාපාර කටයුතු වලදි ඉතිං දන්නැද්ද , එක එක වෙලාවට එක එක කටු ගහන්ඩ ඕනෙ වෙනවනෙ. උන් දෙන්නම වෙද්දු වෙච්චි , මට ඉතිං නිකම්ම නිකං ලෙඩෙක් වෙන්ඩ බෑනෙ.

මෙච්චරවෙලා මාත් එක්ක නකල්ස් ගිය අය දැං උණුවතුර ටිකක් නාල ටිකක් නිඳාගන්න මහන්සිය යන්ට. හැබැයි , ටොෆි කොලයක් , පොලිතින් කෑල්ලක් තියා රටකජු පොත්තක්වත් කැලේ දාල නෙමේ නේද ආවෙ කියල කල්පනාකරල බලන්න. නිකරුනේ ගහක අත්තක් තියා කොළ කෑල්ලක් වත් කැඩුවෙ නෑ නේද කියලත් ආපහු මතක් කරල බලන්න.

මං හිතන්නෙ පණිවිඩේ තේරුණා . ගිහිං එන්නං.

ජය

ප්‍රතිචාර 25

  1. Chejana said,

    ජනවාරි 9, 2011 at 10:47 පෙ.ව.

    දැං ඉතිං අහන්ඩ එපා ඉතුරු එකා මොන වෙදකමද ඉගෙනගත්තෙ කියල. මං කටු චිකිත්සාව ටිකක් ඉගෙනගත්තා -මරදාන පැත්තෙං , ඉස්කෝලෙ යන කාලෙදි 🙂 . වියාපාර කටයුතු වලදි ඉතිං දන්නැද්ද , එක එක වෙලාවට එක එක කටු ගහන්ඩ ඕනෙ වෙනවනෙ. උන් දෙන්නම වෙද්දු වෙච්චි , මට ඉතිං නිකම්ම නිකං ලෙඩෙක් වෙන්ඩ බෑනෙ.

    මෙච්චරවෙලා මාත් එක්ක නකල්ස් ගිය අය දැං උණුවතුර ටිකක් නාල ටිකක් නිඳාගන්න මහන්සිය යන්ට. හැබැයි , ටොෆි කොලයක් , පොලිතින් කෑල්ලක් තියා රටකජු පොත්තක්වත් කැලේ දාල නෙමේ නේද ආවෙ කියල කල්පනාකරල බලන්න. නිකරුනේ ගහක අත්තක් තියා කොළ කෑල්ලක් වත් කැඩුවෙ නෑ නේද කියලත් ආපහු මතක් කරල බලන්න.

    ඔය ටික ලිව්වෙ නම් උඹ බව sure..! ඒත් ඊට උඩ ටික ලිව්වෙ නම්..?

    • යෝගී said,

      ජනවාරි 9, 2011 at 6:48 ප.ව.

      අහන්ඩ දෙයක් නෑ නෙ ඉතිං.. යෝගිය කාලෙකට පස්සෙ නෙ පෑනක් පැන්සලක් අතට අරගෙන ලිපියක් ලියන්ඩ සෙට් උනේ.. කොච්චර සංයමයෙන් ලියාගෙන ගියත් පුරුද්ද මතුවෙනව නෙව..

      මේ ලිපිය නිවාඩුපාඩුවෙ ලිව්වනං තව දෙතුන්වතාවක් සංස්කරනය කරනව. ඒත් ඉතිං අහුවෙච්චි වෙලාවෙ ලියපු එක අමුවෙන්ම අතෑරල දැම්ම..

      ස්තුතී චේජනා

      • යෝගී said,

        ජනවාරි 10, 2011 at 8:59 පෙ.ව.

        මේ .. දෙයක් අමතක උනානෙව.. අර උඩටික ලිව්වෙ කව්ද කියල කියන්ඩ.
        ඇත්තටම ඒක මේ වෙලාවෙ අහපු එක හොඳයි. එක්කෙනෙක් නෙමේ කීපදෙනෙක්ම ඉන්නව ඒ වෙනුවෙන් ස්තුති කරන්න.

        ඔය උඩම ටික ලියාගත්තෙ අපේ තාත්තට කියල. කිරිබණ්ඩෙ මාමගෙ ලොකු කොලුව- අර මේ පාර ඕලෙවල් කරල ගෙදර ඉන්නෙ – අන්න ඌ මැදක් හරිය වෙනකං ලියල දුන්න. මේ පැත්තට මාළු ගේන මනුස්සය ටිකක් හිතවත් දැං. ඉතිං ඒ ඇඳුනුංකමට මිනිහත් ඡේදයක් දෙකක් ලියල දුන්න. අන්තිම හරිය හොඳට ඉවරකරගන්ඩ ඕනැ හින්ද පන්සලේ ලොකු හාමුදුරුවන්ට දීල තමා ලියෝගත්තෙ.

        කලිං කියන්ඩ බැරිඋනාට සමාවෙන්ට. මගේ ලිපිය සාර්ථකකරගන්ට ඔය හැමදෙනාගෙම උදව් නොඅඩුව ලැබුනා. ඒ හැමෝටමත් ප්‍රශ්නෙ අහපු ඔයාටත් බොහොම ස්තුතී !…

        • Chejana said,

          ජනවාරි 10, 2011 at 9:10 පෙ.ව.

          දැන් තමා තේරෙන්නෙ පෝස්ට් එකක් ලියන්න මෙච්චර කල් ගන්නෙ ඇයි කියල… කීදෙනෙක්ගෙන් කියල ලියවගන්න ද…

  2. ජනවාරි 9, 2011 at 12:29 ප.ව.

    අහ්හ ලොක්ක.. Release ටික ඉවරද?. 😀
    Off Shore Software කොම්පැනියක අයිතිකාරයෙක් වුනාම ලේසි නැනෙ…

    මොනව වුනත් උබ හොදට ලියල තියෙනව මචන්. මට නවකතාවක් කියවනව වගේ තේරුනා…
    කොහෙන්ද මචන් ඇත්තටම කොපි කරගත්තෙ ඕක් ? 😀 😀

    • යෝගී said,

      ජනවාරි 9, 2011 at 6:52 ප.ව.

      අම්මේ ද කියන්නෙ.. මං එහෙම කොම්පැණියක අයිතිකාරයෙක්ද මල්ලී.

      කොහොම උනත් යංතං ගොඩවෙලා යන්ඩ ආවට ස්තුතී.. ආ……. අර කොපිකරගත්තු එක කියන්ඩ බැරිඋනානෙ. ඕක අරාබි නිසොල්ලාසය කියන දකුණු ඉන්දියානු අයියර් කෙනෙක්ගේ කොරියන් භාෂාවෙන් ලියවෙච්චි පොතකින් උපුටගෙන සිංහලයට පලකරපු එකක්. සම්පූර්ණ අසංක්ෂිප්ත පරිවර්තනයක් 🙂

      පොත ගන්න තැන දැනගන්ඩ ඕන්නං කතාකරපංකො හැන්දෑවක..

  3. LishWish said,

    ජනවාරි 9, 2011 at 1:48 ප.ව.

    ආසයි මටත් යන්න.., මීට ටික කාලෙකට කලින් ගියා මෝනිං සයිඩ් පැත්තේ ඒත් ඔය වගේ ම තමා.., ඔක්කෝටම වඩා සතුටුයි උඹ ආපහු ලියපු එක ගැන.., සිද්ධාලේප දෙයියංගේ පිහිටෙන් තවත් මේ වගේ ගමන් වාර්තා ගිහින් ලියන්න හැකිවේවා.., දුකක් ආන්තරාවක් නොවේවා..!!!
    ජය!

  4. ජනවාරි 9, 2011 at 11:10 ප.ව.

    උදෙන්ම අඩවියට ආවහම නුහුරුවට හුරු-නමක් බ්ලොග් ලිස්ට් එකේ උඩින්ම… කතාව කියවන තුරු ඉස්පාසුවක් නැති හින්ද ම ද දන්නේ නැහැ විවේකයක් හම්බ වුනේම නැහැ.

    මලේ ආයේ දෙකක් නැහැ කෙලින්ම Virtual Tour එකක් වගේ, බොහෝම සිත්ගත්තා ලියවිල්ල. ත්‍රාසය වගේම ගෙනා පණිවුඩය ඉතා අගේය. කාලෙකට පසුව හරවත් ලිපියක් අරන් ආවාට ස්තුතියි.

    • යෝගී said,

      ජනවාරි 10, 2011 at 12:53 පෙ.ව.

      “නුහුරුවට හුරු නමක්” – ඒකනං මරු 🙂 …

      පුරුදු විදියට සැපදුක බලන්ඩ එනව වගේ ම අයියා අදත් ඇවිල්ල ගිහිං..

      බොහොම ස්තුතී ඇවිත් යන්න ආවට …

  5. ජනවාරි 10, 2011 at 9:10 පෙ.ව.

    අම්මපා උඹේ ලියවිල්ල තමා බං ලියවිල්ල…. ආසාවේ බැරුවා… සොබාදහම ලස්සනට වර්ණනා කරන්න හැමෝටම බෑ කියලා හිතෙන්නේ මේ වාගේ දෙයක් කියෙව්වම… අපි අතර තියන මිතුරු කම පැත්තකින් තියලා මං ඒ කීවේ… ආයේ යමුද බන් ඒ පැත්තේ අපි කස්ටිය…? ඒත් උඹේ බඩ උස්සන් දැන් උඹට ඕවායේ යන්න බෑ නේ..? ආ… කටු වෙදකම කෙසේ වෙතත් මඩ වෙදකම ගැන නම් උඹ නම් දරාපු නෙව…!!!

    මතකද මං කාළෙකට කලින් කීවා… උඹේ ඇඟේ තියෙන්නේ (ඔය බඩට අමතරව) ලියන කලාව බන්… ඒකටත් ඉඳහිට ඉඩ දීපන්… අපි වාගේ පෘතග්ජනයෝ ගැන හිතා හොඳේ…

    • යෝගී said,

      ජනවාරි 10, 2011 at 9:32 පෙ.ව.

      බලාපංකො ඉතිං අයියේ.. හොඳක් කියද්දි උඹට අපේ මිතුරුකම පැත්තකිං තියල මිසක් ඒක කියන්ට බෑ නෙව. ඒ කියන්නෙ මිතුරුකම ආතැන මඩ ගොඩකි වගේ සීන් එකක්..

      අනිත් එක මනුස්සයෙක් ලස්සනට බඩක් maintain කරනකොට වටේපිටේ ඉන්න එවුන්ට එව්ව බලං ඉන්ට බෑ.. ඊරිසියාව උහුලන්නෑ.. ඒකටත් විශේෂ හැකියාවක් තියෙන්ඩ ඕනෙ.

      කොහොමත් හරි ඉඳල ඉඳල ලියපු ලිපිය බලන්ට දන්න කියන අය ඇවිල්ල.. ගොඩක් සතුටුයි බං.දහසක් වැඩ රාජකාරි අස්සෙ මගෙ මේ දිග හෑල්ල කියවන්ඩ වෙලාව හොයාගත්තට බොහොම ස්තුතී අයියේ.

      උඹේ ප්‍රතිචාරෙ හැමදාම වගේ මට ශක්තියක් !…

  6. රොයිලි ප්‍රනාන්දු said,

    ජනවාරි 10, 2011 at 3:31 ප.ව.

    ආයේ පෝස්ට් එකක් දාන්නේ ලබන අවුරුද්දෙද? 😛

    • යෝගී said,

      ජනවාරි 10, 2011 at 3:39 ප.ව.

      මේ ආවෙ රෝයියා.. අනේ බලපං ඉතිං මෙච්චර දිග එකක් ලියන්ඩම අවුරුද්දක් විතර යනවනෙ.. අනිත් අවුරුද්දෙ තව එකක් ලියනව අනිවා ..

      ස්තුතී මචං හැමදාමත් වගේ අදත් බලල යන්න ආවට !…

  7. සාවිත්‍රි said,

    ජනවාරි 12, 2011 at 7:05 ප.ව.

    කොන්ක්‍රීට් වනන්තරයක අතරමං වෙලා ඉන්න අපිව වණ අරණකට අරං ගිය යෝගියා‍ට ගොඩාක් පිං! තව තවත් ඉක්මනටම ලියන්න. වලාකුළු පෙරීගෙන එන මේ දුම්බර මිටියාවත අපිට හැමදාමත් රැක ගන්න පුළුවන් නම් . . .

  8. තාරක Dilsh@n said,

    මාර්තු 4, 2011 at 5:54 ප.ව.

    මම කියවන්නෙ නව කතාවක්ද කියලත් හිතුන…
    ලස්සනට ලියල තියෙනවා

    • යෝගී said,

      මාර්තු 4, 2011 at 6:04 ප.ව.

      කියවල ප්‍රතිචාරයක් සටහන්කරන්න මොහොතක් රැඳුනට බොහොම ස්තුතී මිත්‍රයා.
      ඔබේ Link එකක් නැති නිසා මට ඔබේ බ්ලොග් අඩවියට එන්නට පාර හොයාගන්නට විදියක් නෑ.

      • තාරක Dilsh@n said,

        මාර්තු 4, 2011 at 6:09 ප.ව.

        මට බිලොග් අඩවියක් නෑ මිත්‍රයා…
        ස්තුතියි ඒ ගැන සොයා බැලුවට..

        • යෝගී said,

          මාර්තු 4, 2011 at 6:11 ප.ව.

          හොඳයි හොඳයි. ඒත් ඉක්මනටම එකක් දකින්න ලැබේවා කියල හිතමු නේද 😉

  9. තාරක Dilsh@n said,

    මාර්තු 4, 2011 at 6:14 ප.ව.

    😛 😉

  10. මාර්තු 15, 2011 at 1:42 ප.ව.

    හරිම අපූරු ලිපියක් සහෝ… කතාව, කතාවේ අදහස, ලියලා තියෙන විදිහ තදින් සිත් ගත්තා…. දිගටම ලියන්න… නොවැරදීම ආයෙත් එන්නම්….

  11. Anuruddha Weligamage said,

    ජූනි 28, 2020 at 11:27 ප.ව.

    ලස්සනයි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: